Post Views: 175 මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ දිවයින පුරා විසිර සිටින කලාකරුවන් ඇගයෙන ‘ කලාභූෂණ ‘ රාජ්‍ය සම්මාන උලෙළේ 40 වැනි පියවර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින පුරා විසිරී සිටින පරිණත කලාකරුවන් 200 දෙනෙකු මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මානලාභී කලාකරුවන් වෙත මෙහිදී කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය සහ සහතික පත්‍රය සමඟ මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණ. සංගීතය, නර්තනය, චිත්‍ර, සාහිත්‍ය, නාට්‍ය, චිත්‍ර හා මූර්ති ආදී වෙනත් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා කලාභූෂණ සම්මාන ලබා දීම සිදු කෙරුණු අතර, ප්‍රවීණ කලාකරුවන් වන සෝමරත්න බාලසූරිය, ජනක ෆොන්සේකා, ආර්. ෂඩගෝපන්, දි.ග සෝමපාල, විනී හෙට්ටිගොඩ, ලූෂන් බුලත්සිංහල, අර්නි පීරිස්, මනෝජ් පිරිස්, නිරංජලා සරෝජනී, මිරැන්ඩා හේමලතා සහ ඉන්ද්‍රානි බෝගොඩ ඇතුළු ජාතික තලයේ කලාකරුවන් රැසක් ද මෙහිදී සම්මානිත විය. සම්මාන උලෙළ ඇමතූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ තාක්ෂණික මෙවලම් අවම වූ යුගයක සිය බුද්ධිමය ප්‍රතිභාව මෙහෙයවා ශ්‍රී ලංකේය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් මෙම කලාකරුවන් විසින් කරන ලද කාර්යභාරය අනුපමේය බවයි.එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතා බහක් නිර්මාණය වී ඇති බවත්, එලෙස මතුවන ඇතැම් විවේචනයන් කියාපාන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට ප්‍රමාද වීමේ අනිටු විපාක බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව 40 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ සංවිධාන කල අතර මෙම අවස්ථාව සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රවර්ධන) ධම්මිකා කේ. විජයසිංහ සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස් දිල්හානි ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කලාකරුවෝ රැසක් ද එක්ව සිටියහ. Post navigation ஸ்வர்ண துவார – கடுவெல இலக்கிய கலை மங்கல்யம் 2025. “සලාම් රමසාන් 2026” ශ්‍රී ලාංකේය මුස්ලිම් සංස්කෘතික මංගල්‍යය කොළඹදී පැවැත්වේ.