මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී ජනාධිතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම, විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ අතර ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින්, විෂ මත්ද්‍රව්‍ය මැඬලීමේ කටයුතු සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය. විශේෂයෙන්ම දැනට ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන ඒම සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලැබෙනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

පසුගිය සමයේ ශ්‍රී ලංකාව දුෂ්කරතාවලට මුහුණදුන් සෑම අවස්ථාවකම ඉන්දියාව විසින් ලබා දෙන ලද සහායද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළේය.

අනතුරුව දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස අත්සන් තබන ලද නව ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමද ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරියේ සිදු විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා L70 තුවක්කු පද්ධති නවීකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ගිවිසුම, ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව සඳහා වූ ගිවිසුම සහ ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය සහ ඉන්දීය ශිෂ්‍යභට බලකාය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම යන ගිවිසුම් ත්‍රිත්වය මෙසේ අත්සන් තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *