Post Views: 224 ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල අද (30) වරෙන්තු නිකුත් කළා. බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් නිතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අංක 09 අධිකරණයේ අධිචෝදනා ගොනුකරනු ලැබ තිබුණු අතර එම නඩුව අද (30) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරුණා. ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් ඊයේ (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී ද ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අභියාචනාධිකරණයද එම හිමියන්ට වරෙන්තු නිකුත් කළා. පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා. ඒ අනුව මේ වන විට මහාධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් වරෙන්තු දෙකක් නිකුත් කෙරී ඇති පසුබිමක විත්තිකාර ඥානසාර හිමියන් හෙට දින (01) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි එම නියෝගයේ සඳහන් වන්නේ. Post navigation දිලිත්ගේ පෙත්සම ඉවතට.