Post Views: 224 ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්‍රය ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට ගෙනයාමේ Digital Terrestrial Television Broadcasting – DTTB ව්‍යාපෘතිය 2026 සැප්තැම්බර් 28 වැනිදා කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී යළිත් ප්‍රධාන උත්සවයකින් ආරම්භ කෙරුණි. මෙරට භෞමික රූපවාහිනී විකාශන ක්ෂේත්‍රය ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන DTTB (Digitalization of Terrestrial Broadcasting) වැඩසටහන හඳුන්වාදීමේ විශේෂ උත්සවය බවට සදහන් කෙරෙමින් මෙය පැවැත්වුනද මෙය ශ්‍රී ලංකාව ඩිජිටල් රූපවාහිනියට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිවල පළමු අවස්ථාව නොවේ. මෙම ඩිජිටල්කරණ වැඩසටහන් වල ආරම්භය සොයා බැලූ විට පෙනී යන්නේ 2009 දී කැබිනට් අනුමැතිය ලැබූ ව්‍යාපෘතියක් 2026 වන විටත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ අදියරට ළඟා වී නොමැති බවයි. 2026 සැප්තැම්බර් 28 වැනිදා පැවති නවතම උත්සවයේදී දැනුම් දී ඇත්තේ DTTB ව්‍යාපෘතියේ පූර්ණ විකාශන කටයුතු 2028 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. එසේ නම්, වසර 17 කට ආසන්න කාලයක් පුරා මෙම ව්‍යාපෘතියට සිදුවූයේ කුමක්ද යන්න මෙරට බදු ගෙවන ජනතාවට දැනගැනීමේ සම්පූර්ණ අයිතියක් ඇත. 2009 කැබිනට් අනුමැතියෙන් ආරම්භ වූ ගමන ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශනය ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට මාරු කිරීම සඳහා 2009 වසරේදී කැබිනට් අනුමැතිය ලබාදී තිබූ බව 2024 ඔක්තෝබර් 7 වැනිදා නිකුත් කළ කැබිනට් තීරණයක නිල වාර්තාව තහවුරු කරන අතර එහි සඳහන් වන්නේ ගෝලීය ප්‍රවණතා සමඟ අනුකූල වීම සඳහා ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමට එම අවස්ථාවේදී අනුමැතිය ලබාදී තිබූ බවයි. එහෙත් “විවිධ හේතූන් මත” එම කටයුතු ප්‍රමාද වූ බව කැබිනට් කාර්යාලයම පසුව පිළිගෙන තිබේ. අනතුරුව, 2023 දී ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලේඛනයක දැක්වෙන්නේ 2009 දී DVB-T තාක්ෂණය යටතේත්, 2010 දී DVB-T2 තාක්ෂණය යටතේත් ඩිජිටල්කරණයට විවිධ පියවර ගෙන තිබුණද, අවශ්‍ය ප්‍රතිපාදන නොතිබීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි. ඒ අනුව මතුවන පළමු ගැටළුව නම් 2009 දී අනුමත කළ ජාතික මට්ටමේ තාක්ෂණික ව්‍යාපෘතියකට අවශ්‍ය මූල්‍ය හා පරිපාලන සැලසුම් එම අවස්ථාවේදීම නිසි ලෙස සකස් නොවූයේ ඇයි යන්නයි. කෙසේ නමුත් පසුව, ව්‍යාපෘතිය සඳහා ජපාන විශේෂඥයන්ගේ සහාය ඇතිව 2012–2013 කාලයේ ශක්‍යතා අධ්‍යනයක් සිදුකර තිබෙන බව DTTB ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවියට අනුව සදහන් වේ. ඒ අනුව, 2012–2013 කාලය ව්‍යාපෘති සැලසුම් කිරීමේ අදියරක් වූ අතර, රට පුරා ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශනය හඳුන්වාදීම පිළිබඳ පුළුල් ශක්‍යතා අධ්‍යනයක් (feasibility study) මෙහිදී සිදුකර තිබේ. ඒ වනවිට රටේ ප්‍රතිපත්ති මට්ටමේ තීරණ, තාක්ෂණික අධ්‍යයන සහ roadmap සකස් කිරීම සිදුවී තිබුනු බව අදාල වාර්තා අනුව පැහැදිලි වේ. නමුත් එතැන් සිට ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම දක්වා ගමන අඩාල වීමට පැහැදිලි හේතුවක් පෙනෙන්නට නොතිබුනි. කෙසේ වෙතත්, 2014 වසරේදී ශ්‍රී ලංකාව ජපානයේ ISDB-T ඩිජිටල් රූපවාහිනී තාක්ෂණය තෝරාගත් අතර, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් JICA හරහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහය ලබාගැනීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගිය අතර DTTB ව්‍යාපෘතියේ නිල වාර්තා අනුව 2014 වසර JICA මෘදු ණය පහසුකම ලබාගත් අවස්ථාව ලෙස දක්වයි. එසේ වුවත්, ජපාන තානාපති කාර්යාලය පවසන පරිදි, ශ්‍රී ලංකාව සහ ජපානය අතර මූල්‍ය ගිවිසුමෙන් වසර ගණනාවකට පසුවත් ව්‍යාපෘතියේ සවිස්තරාත්මක සැලසුම් කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. මෙහිදී වඩාත් බරපතළ ප්‍රශ්නය මතුවන්නේ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වීමේ වේගය සම්බන්ධයෙනි. 2015න් පසු මෙම ව්‍යාපෘතියට කුමක් සිදුවූවාදැයි සදහන් නොවන අතර DTTB ව්‍යාපෘතියේ නිල තොරතුරු අනුව 2017–2018 කාලයේ JICA විසින් ක්‍රියාත්මක කිරීම (implementation) පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් (further study) සිදුකළ බව සඳහන් කරයි. ඉන්පසුව 2020–2022 කාලයේදී තාක්ෂණික යාවත්කාලීන කිරීම් සිදුවූ බවත් එහි දැක්වේ. මෙම ඩිජිටල්කරණ වැඩසටහනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ 2021 දෙසැම්බර් මාසයයි. එවකට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කොළඹ ප්‍රධාන හෝටලයකදී DTTB ව්‍යාපෘතිය යළි දියත් කළ අතර, රජයේ ඉලක්කය වූයේ ව්‍යාපෘතිය 2025 වන විට අවසන් කිරීම බව ප්‍රකාශ කර තිබුණි. එම අවස්ථාවේ රජයේ තොරතුරු අනුව ඩිජිටල්කරණයෙන් ප්‍රේක්ෂකයන්ට වඩා පැහැදිලි රූප ලබාදීම පමණක් නොව, සංඛ්‍යාත පරාසයේ ධාරිතාව විශාල ලෙස වැඩි කිරීමත් අපේක්ෂා කර තිබුණි. එමගින් අනාගතයේදී නව රූපවාහිනී නාලිකා සඳහාද වැඩි ඉඩක් ලබාගැනීමේ හැකියාවක් ඇති බව එහිදී සඳහන් විය. එහෙත් 2023 වන විට The Morning වාර්තා කළේ ව්‍යාපෘතියේ සැලසුම්ගත කාලසටහනට සාපේක්ෂව රට වසර දෙකකින් පමණ පසුබැස සිටි බවයි.එහිදී, මේ තත්වය ගැන “The Morning” කළ වාර්තාවකට අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී JICA සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර කරුණු කිහිපයක් සාකච්ඡා වෙමින් තිබූ බවත්, ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට බාධා එල්ල වී තිබූ බවත් සදහන් වේ. එමෙන්ම, එම වාර්තාවේ සඳහන් වූයේ JICA මූල්‍ය සහාය යටතේ තිබූ ව්‍යාපෘති කිහිපයක් නැවත ආරම්භ කිරීමට අවසර ලැබුණද, DTTB ව්‍යාපෘතිය එම අවස්ථාවේදී තවදුරටත් ගැටලුකාරී තත්ත්වයක තිබූ බවයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් අරමුදල් මුදාහැරීම සම්බන්ධයෙන් ගැටලු තිබූ බවද එම වාර්තාව සඳහන් කර තිබුනි. එවන් පසුබිමක වත්මන් රජය පත්වීමෙන් පසුව, 2025 අප්‍රේල් 3 වැනිදා DTTB ව්‍යාපෘතිය සඳහා detailed design consultancy contract එක ජපාන Yachiyo Engineering සමාගම සමඟ අත්සන් කෙරිණි. ජපාන තානාපති කාර්යාලය පවසන්නේ එය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා ගත් වැදගත් පියවරක් බවයි. එම අවස්ථාවේදී ජපාන තානාපති අකියෝ ඉසිමාටා සඳහන් කළේ දෙරට අතර ගිවිසුම අවසන් කර වසර 10 කට පසුව එම consultant contract එක අත්සන් කිරීමට හැකි වූ බවයි. ඉන්පසුව 2025 ජූනි 9 වැනිදා තාක්ෂණික ක්‍රියාත්මක කිරීම සඳහා engineering consultancy services ආරම්භ විය. ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම අවස්ථාව වන විට වසර 46 කට වැඩි කාලයක් පැවති ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වූ බවයි. මෙහිදී DTTB ව්‍යාපෘතියෙන් 700MHz වැනි සංඛ්‍යාත පරාස නිදහස් කර 5G සහ ග්‍රාමීය broadband සේවා පුළුල් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී තිබේ. ඉන් අනතුරුව 2026 සැප්තැම්බර් 28 වැනිදා නෙළුම් කුළුණ පරිශ්‍රයේදී DTTB ව්‍යාපෘතියේ විශේෂ උත්සවයක් පවත්වමින් යලිත් සමාරම්භයක් සිදුකරන ලදී. “The Next Wave of Television” යන තේමාව යටතේ පැවති මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ඇතුළු නිලධාරීන් සහභාගී වූහ. එහිදී ජපාන තානාපති අකියෝ ඉසිමාටා ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ ආර්ථික පාඩුව පිළිබඳව සඳහන් කර තිබේ.එහෙත් වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ පූර්ණ DTTB විකාශන කටයුතු ආරම්භ කිරීමට දැන් නියමිත දිනය ලෙස සදහන් වන්නේ 2028 දෙසැම්බර් වීමයි. ඒ අනුව, 2021 දී “2025 වන විට අවසන් කරනවා” යන ඉලක්කය තිබූ ව්‍යාපෘතියක් සඳහා 2026 වනවිටත් පූර්ණ විකාශනය ආරම්භ වී නොමැති වටාපිටාවක නව ඉලක්කය 2028 දෙසැම්බර් බවට පවසා යලි ක්‍රියාත්මක වීම යථාර්තයක් පත්ව පත්වේද යන ගැටළුව මතුවේ. කෙසේ වෙතත් 2009 සිට මේ දක්වා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට නොහැකිවීමට වගකිවයුත්තේ කවුද යන ගැටළුවට පිළිතුරක් ලබාදීම වත්මන් රජයේ වගකීමකි. දැනට ප්‍රසිද්ධ කර ඇති නිල ලේඛන අනුව එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෝ මෙම ව්‍යාපෘතියේ සමස්ත ප්‍රමාදයට වගකිව යුතු බවට නිල විමර්ශනක් හෝ නිගමනයක් ප්‍රසිද්ධ වී නොමැත. ඒ වෙනුවට ලේඛනවලින් පෙනී යන්නේ ප්‍රමාදය බහු-අදියර ක්‍රියාවලියක් බව පමණකි. 2009 දී කැබිනට් අනුමැතිය ලැබුණද අවශ්‍ය ප්‍රතිපාදන නොතිබීම ව්‍යාපෘතියේ ඉදිරිගමනට බාධාවක් වූ බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේඛනයක සඳහන් වේ. එමෙන්ම, JICA මූල්‍යකරණය හා ක්‍රියාත්මක කිරීමේ අදියර අතර දිගු පරතරයක් පැවති බව ජපාන තානාපති කාර්යාලයේ 2025 ප්‍රකාශය පෙන්වා දෙයි. මේ නිසා විධිමත් විගණනයක් හෝ විමර්ශනයක් සිදුකර මූල්‍ය දූෂණයක් සිදුවුණාද නැතිනම් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම තත්වයට මුහුණ පෑවාද යන්න ජනතාව ඉදිරියේ පැහැදිලි පිලිතුරක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කල යුතු අතර එහිදී, 2009 සිට මේ දක්වා ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කර ඇති මුළු මුදල කොපමණද?JICA ණය මුදලින් කොපමණ මුදලක් භාවිත කර තිබේද?ව්‍යාපෘතියේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ අමතර වියදම් කොපමණද?2014 දී ඇතිකරගත් සැලසුම සහ 2026 දී පවතින සැලසුම අතර වෙනස්කම් මොනවාද?2021 දී 2025 අවසන් දිනයක් ලෙස ප්‍රකාශ කළේ කුමන පදනමක් මතද?එම ඉලක්කය අසාර්ථක වූයේ කුමන අදියරවලදීද?ව්‍යාපෘතියට අදාළව වගකිවයුතු ආයතන සහ නිලධාරීන් කවුරුන්ද?තීරණ ගැනීමේ ප්‍රමාදයන් සඳහා වගකීම පැවරී ඇත්තේ කාටද?2028 දෙසැම්බර් ඉලක්කය සපුරාලීමට මෙවර ඇති සහතික මොනවාද? යන ගැටළුවලට නිසි පිළිතුරු ලබාදීම කලයුතු බවත් එසේ කිරීමෙන් පමණක් රාජ්‍ය ව්‍යාපෘති සැලසුම්කරණය, මූල්‍ය කළමනාකරණය, පරිපාලන වගකීම, දේශපාලන තීරණ ගැනීම සහ මහජන මුදල් භාවිතය පිළිබඳ විනිවිද භාවයක් ඇතිකල හැකි බවත් රජය තේරුම් ගත යුතුව ඇත. ප්‍රධාන මූලාශ්‍ර: කැබිනට් කාර්යාලය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, DTTB ව්‍යාපෘති නිල වෙබ් අඩවිය, ජපාන තානාපති කාර්යාලය සහ The Morning News වාර්තා. Post navigation රූපවාහිනී ඩිජිටල්කරණ වැඩසටහන නෙළුම් කුළුණේදී ඇරඹේ.