Post Views: 295 ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ක්ෂේත්‍රය ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන DTTB (Digitalization of Terrestrial Broadcasting) වැඩසටහන හඳුන්වාදීමේ විශේෂ උත්සවය අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි. “The Next Wave of Television” යන තේමාව යටතේ පැවති මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සවයේ පිළිගැනීමේ කතාව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කළේය. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, DTTB ඩිජිටල්කරණ වැඩසටහන හරහා මෙරට රූපවාහිනී නරඹන්නන්ට වඩාත් පැහැදිලි සහ ගුණාත්මක දර්ශන අත්විඳීමට හැකියාව ලැබෙන අතර, විදුලි සංදේශ යටිතල පහසුකම්ද වැඩිදියුණු කිරීමට හැකි වන බවයි. රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී ආයතන අතර වෙනසකින් තොරව සාධාරණ ක්‍රමවේදයක් යටතේ මෙම පහසුකම් ලබාදීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම මාධ්‍ය නිදහස තහවුරු කිරීමද මෙම ක්‍රියාවලියේදී වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන තානාපති කාර්යාලය ලබාදෙන සහයෝගය පිළිබඳවද අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය. වසර 10ත් 12ත් අතර කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ව්‍යාපෘතියක් මෙලෙස ක්‍රියාත්මක කිරීම සුවිශේෂී අවස්ථාවක් බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසිමාටා මහතාද උත්සවය අමතමින් DTTB ව්‍යාපෘතියේ වැදගත්කම පැහැදිලි කළේය. අනාගත ශ්‍රී ලංකාව සඳහා මෙම ව්‍යාපෘතියේ ඇති වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ ඔහු, ව්‍යාපෘතිය සඳහා ජපානය දීර්ඝ කාලයක් තිස්සේ ලබාදුන් සහයෝගය පිළිබඳවද සඳහන් කළේය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරටට සිදුවූ පාඩුව පිළිබඳවද ජපාන තානාපතිවරයා අදහස් පළ කළේය. මේ අතර, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා DTTB ව්‍යාපෘතියට අමතරව රටේ 4G සහ 5G ජංගම දුරකථන සංඥා සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කළේය. DTTB ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ප්‍රසංග රාජපක්ෂ මහතා විසින් ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කළේය. සැලසුම් අනුව DTTB ව්‍යාපෘතියේ විකාශන කටයුතු 2028 වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්‍රය නවීන ඩිජිටල් තාක්ෂණය සමඟ තවත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරේ. Post navigation ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශානි, රවී සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරයි.