හයිටියේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට ශ්‍රී ලාංකික භටයන් සම්බන්ධ වූ සමයේ ළමුන් ඇතුළු පුද්ගලයන් ලිංගික සූරාකෑමට ලක් කළ බවට එල්ල වූ බරපතළ චෝදනා, වසර 19 කට පසු යළි ජාත්‍යන්තර අවධානයට පැමිණ තිබෙනවා. ඒ, 2026 වසරේ ශ්‍රී ලංකාවෙන් හයිටියට යවන ලද 1,132 දෙනකුගෙන් සමන්විත විශාල සාමසාධක බලකායක් සමඟයි.

කෙසේ වෙතත්, මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ 2007 දී එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර විමර්ශනයකින් පසුව එම චෝදනා පිළිබඳව 2007 දීම නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික භටයන් 100 කට වැඩි පිරිසක් ආපසු යැවීමට ද කටයුතු කර තිබුණි. එහෙත් වසර ගණනාවක් ගතවී තිබුණද, එම සිද්ධියේ අපරාධමය වගවීම, විනය ක්‍රියාමාර්ග සහ විදේශීය සාමසාධක මෙහෙයුම් සඳහා භටයන් තෝරාගැනීමේ ස්වාධීනත්වය සම්බන්ධ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති බව විවිධ පාර්ශව චෝදනා කරයි.

හයිටියේ සිදුවූයේ කුමක්ද ?
ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් 2004 සිට 2007 දක්වා කාලයේදී හයිටියේ එක්සත් ජාතීන්ගේ MINUSTAH සාමසාධක මෙහෙයුමට සම්බන්ධ වී සිටියා. Associated Press විසින් 2017 දී අනාවරණය කළ එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ලේඛන අනුව, එම කාලය තුළ අවම වශයෙන් ශ්‍රී ලාංකික සාමසාධක භටයන් 134 දෙනකු හයිටි දරුවන් නව දෙනකු සම්බන්ධ ලිංගික සූරාකෑම් ජාලයකට සම්බන්ධ බවට සාක්ෂි තිබූ බව වාර්තා වී තිබෙනවා.

විමර්ශනවල සඳහන් වූ පරිදි, ඇතැම් දරුවන්ට ආහාර, සුළු මුදල් හෝ වෙනත් දෑ ලබාදීම වෙනුවෙන් ලිංගික සම්බන්ධතා සිදුවූ බවට චෝදනා එල්ල වී තිබුණා. වින්දිතයන් අතර ගැහැණු හා පිරිමි දරුවන් ද සිටි බවත්, සමහර දරුවන් ඉතා ළාබාල වයසේ පසුවූ බවත් එම වාර්තා පෙන්වා දී තිබෙනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ Office of Internal Oversight Services හෙවත් OIOS විසින් 2007 දී පරීක්ෂණයක් සිදු කළා.

එම විමර්ශනයෙන් අනතුරුව ශ්‍රී ලාංකික භටයන් ආපසු කැඳවීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කටයුතු කළ බව එක්සත් ජාතීන් නිවේදනය කළ අතර, භටයන් 108 දෙනකු විනයමය පදනම මත ආපසු යවන බවත් සඳහන් කර තිබුණා. අණදීමේ වගකීම් ඉටු නොකළ බවට චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු ද ආපසු කැඳවීමට තීරණය කර තිබුණි.

භටයන් ආපසු පැමිණියාට පසු සිදුවූයේ කුමක්ද?

හයිටි සිද්ධිය සම්බන්ධයෙන් වඩාත් සංවේදී ප්‍රශ්නයක් මතුවන්නේ මෙතැනදීය. Associated Press හි 2017 විමර්ශනයට අනුව, චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සාමසාධක භටයන් 100 කට වැඩි පිරිසක් ආපසු යවා තිබුණද, කිසිවකුට සිරදඬුවමක් ලැබී නොතිබූ බව වාර්තා වුණා. Amnesty International ද 2026 ජූලි මාසයේදී පෙන්වා දී ඇත්තේ 2007 හයිටි සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සාමසාධක භටයකු අපරාධ නඩුවකදී වරදකරු වූ බවට ප්‍රසිද්ධියේ පවතින තොරතුරු නොපෙනෙන බවයි.

කෙසේ වෙතත්, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට එල්ල වන චෝදනාව සම්පූර්ණ සත්‍යයක් නොවන බව පෙනී යන්නේ, 2026 සැප්තැම්බර් මාසයේදී Sunday Times වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ කල ප්‍රකාශයක් නිසායි. එහිදී ඔහු කියා ඇත්තේ චෝදනා ලැබූවන් සම්බන්ධයෙන් අභ්‍යන්තර යුද්ධාධිකරණ ක්‍රියාමාර්ග ගෙන පසුව ඔවුන් සේවයෙන් ඉවත් කළ බවයි.

කෙසේ වෙතත්, බරපතළ ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් අපරාධමය වගවීම සිදුවූයේ කෙසේද යන්න නිසි යාන්ත්‍රනයක් හරහා පැහැදිලි කිරීමක් සිදුව නැති බව පෙනී යයි. එමෙන්ම විමර්ශන ක්‍රමවේදය පිළිබඳවත් ප්‍රශ්න ඇති බව වාර්තා වේ. හයිටි සිද්ධියෙන් පසු ශ්‍රී ලාංකික සාමසාධක භටයන් සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්න වගවීමෙන් පමණක් සීමා වූයේ නැහැ. 2017 දී හයිටියේ සිටි ශ්‍රී ලාංකික සාමසාධක භටයකුට එරෙහිව එල්ල වූ වෙනත් ලිංගික අපයෝජන චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් සිදුකළ විමර්ශනයක් පිළිබඳවද Associated Press වාර්තා කර තිබුණා.

එම විමර්ශනයේදී පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණියගෙන් සහ ඇය පරීක්ෂා කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් සම්පූර්ණ ප්‍රකාශ ලබාගෙන නොතිබූ බවට කරුණු වාර්තා වී තිබූ අතර, අවසානයේ චෝදනා ලැබූ සෙබළා නිදහස් කර තිබුණා. එම සිද්ධිය විමර්ශන ක්‍රමවේදයේ ස්වාධීනත්වය සහ සම්පූර්ණභාවය පිළිබඳ ප්‍රශ්න මතු කළ කරුණක් ලෙස වාර්තා වී ඇත.

විදේශීය සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් තෝරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටලු හයිටි සිද්ධියෙන් අවසන් වූයේ නැහැ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2025 දී නිකුත් කළ Lessons Learnt වාර්තාව අනුව, 2017 දී එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව පුද්ගලයන් 200 දෙනකුගේ ලේඛන ඉදිරිපත් කර තිබුණා. එම ක්‍රියාවලියේදී screening සිදුවෙමින් තිබියදීම ඔවුන්ට UN clearance ලැබී ඇති බව දැනුම් දී තිබූ බව වාර්තාව සඳහන් කරයි.

ඉන් පසුව ලෙබනනයේ UN සාමසාධක මෙහෙයුමක් සඳහා 204 දෙනකුගේ අයදුම්පත් ඉදිරිපත් වූ අතර, screening ක්‍රියාවලියේදී මානව හිමිකම් කොමිසමේ clearance නොලැබූ 49 දෙනකු ලෙබනනයට යවා තිබීම හේතුවෙන් එම ක්‍රියාවලිය නතර කිරීමට සිදුවූ බව HRCSL වාර්තාව පෙන්වා දෙයි. මෙවැනි අත්දැකීම්වලින් පසුව UN, OHCHR, HRCSL සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඇතුළු පාර්ශ්ව එක්ව නව Standard Operating Procedure එකක් සකස් කළා.

2018 දී නැවත ක්‍රියාත්මක වූ ක්‍රමවේදය යටතේ HRCSL clearance නොලැබූ පුද්ගලයන් UN මෙහෙයුම් සඳහා නම් නොකළ යුතු බව සඳහන් වූ අතර, HRCSL clearance තිබුණත් තමන්ගේම due diligence සහ reputational risk assessment මත පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීමට UN ට බලය තිබුණා.

කෙසේ වෙතත්, HRCSL විසින් 2025 දී නිකුත් කළ Lessons Learnt වාර්තාවේ සඳහන් පරිදි, 2024 ජූනි මාසයේදී කොමිසම විදේශීය සාමසාධක මෙහෙයුම් සඳහා වන විශේෂ screening භූමිකාවෙන් ඉවත් වී ඇත. එම වාර්තාවේ screening ක්‍රියාවලිය වේගවත් කරන ලෙසත්, ඇතැම් අයදුම්කරුවන් clear නොකිරීමට ගත් තීරණ නැවත සලකා බලන ලෙසත් බලපෑම් පැමිණි බව සඳහන් කර තිබෙනවා. ඒ හේතුවෙන් screening ක්‍රියාවලියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු මතුවූ බවද වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව HRCSL එම විශේෂ භූමිකාවෙන් ඉවත් වූ පසු විදේශීය මෙහෙයුම් සඳහා යවන ආරක්ෂක අංශ සාමාජිකයන් පිළිබඳ ස්වාධීන දේශීය screening යාන්ත්‍රණය කුමක්ද යන ගැටළුවත් මතුව ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරන 1,132 දෙනකු එක්සත් ජාතීන්ගේ මෙහෙයුම සඳහා පිටත්වීමට නියමිතව තිබුණා.

මෙම බලකායට යුද හමුදා සාමාජිකයන් 900 දෙනකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ 189 දෙනකු සහ කාන්තා සෙබළියන් 43 දෙනකු ඇතුළත් බව වාර්තා වුණා. එය එක් අවස්ථාවක ශ්‍රී ලංකාවෙන් පිටත්වන විශාලතම UN peacekeeping contingent එක ලෙසද සඳහන් වී තිබුණි. 2026 ජූලි 9 දා නිලධාරීන් 28 දෙනකු සහ අනෙකුත් නිලයන් 289 දෙනකු ඇතුළු 317 දෙනකුගෙන් සමන්විත advance party එකක් හයිටිය බලා පිටත්ව ගොස් තිබූ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ Directorate of Overseas Operations තොරතුරු අනුව සඳහන් වේ.

නව බලකාය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නවලට ශ්‍රී ලංකා යුද හමුදාව ද ප්‍රතිචාර දක්වා තිබෙනවා. Sunday Times වෙත අදහස් දක්වමින් යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කර ඇත්තේ 1,132 දෙනා සම්බන්ධයෙන් යුද හමුදාව අභ්‍යන්තර vetting සහ screening ක්‍රියාවලියක් සිදුකළ බවයි.

එම screening ක්‍රියාවලියෙන් පසුව clear කළ පුද්ගලයන්ගේ නම් වැඩිදුර screening සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හෙවත් OHCHR වෙත ලබාදුන් බවද ඔහු සඳහන් කර තිබෙනවා. එබැවින් හමුදාවේ ස්ථාවරය වන්නේ අභ්‍යන්තර පරීක්ෂාවක් සිදුකර, සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගේ තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයටද ලබාදී ඇති බවයි.

නමුත් විවේචනය නම් ආරක්ෂක අංශයක් විසින් තමන්ගේම සාමාජිකයන් සම්බන්ධයෙන් සිදුකරන screening ක්‍රියාවලිය කොතරම් ස්වාධීනව සහ බාහිර පරීක්ෂාවකට විවෘතව සිදුවන්නේද යන්නයි. විශේෂයෙන්ම හයිටියේ නව මෙහෙයුමේ ස්වභාවයද මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණකි. මෙවර යවනු ලබන්නේ සාම්ප්‍රදායික UN peacekeeping operation එකකට වඩා වෙනස් ස්වභාවයකින් යුත් බහුජාතික බලකායක් වන අතර, එය Gang Suppression Force හෙවත් GSF නමින් හඳුන්වන හයිටියේ සන්නද්ධ කල්ලිවල බලපෑම අඩු කිරීම, ප්‍රදේශ සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ හයිටි ආරක්ෂක ආයතනවල හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් බලකායකි.

2025 සැප්තැම්බර් 30දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ Resolution 2793 මගින් Gang Suppression Force හෙවත් GSF සඳහා ආරම්භක මාස 12ක බලතලයක් ලබාදී තිබුණා. UN Support Office in Haiti හෙවත් UNSOH මගින් GSF වෙත සහාය ලබාදෙන අතර, හයිටි ජාතික පොලිසිය ඇතුළු ආයතන සමඟ මෙහෙයුම් සම්බන්ධීකරණයටද එක්සත් ජාතීන් සහාය දක්වයි. 2026 ජූලි වන විට GSF හි හමුදා සංරචකය 1,083 දෙනකු පමණ වූ බව Security Council Report සඳහන් කර තිබූ අතර, එම බලකාය සම්පූර්ණ මෙහෙයුම් හැකියාවට තවමත් ළඟා වී නොතිබූ බවද වාර්තා වුණා.

GSF සඳහා ලබාදී ඇති ආරම්භක මාස 12 ක බලතල කාලය 2026 සැප්තැම්බර් 30 දා අවසන් වීමට නියමිතයි. ඒ අනුව මෙහෙයුම තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සලකා බලමින් සිටින අතර, Security Council Report අනුව ඇමරිකා එක්සත් ජනපදය සහ පැනමා රාජ්‍යය බලතල අලුත් කිරීම සඳහා කටයුතු කිරීමට නියමිතව තිබුණා. GSF පිහිටුවීමේදීද human rights, child protection, oversight සහ accountability යන කරුණු ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් අතර සාකච්ඡාවට ලක්ව තිබුණා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකීමේදී ගැඹුරු ප්‍රශ්නය වන්නේ විදේශීය මෙහෙයුම් සඳහා යවන සෑම හමුදා හෝ පොලිස් සාමාජිකයකුගේම අතීත මානව හිමිකම් වාර්තාව ස්වාධීන, විනිවිදභාවයෙන් යුතු සහ විශ්වාසනීය ක්‍රමවේදයකින් පරීක්ෂා කරන්නේ කෙසේද ? යන්නයි. 2018 දී ක්‍රියාත්මක කළ SOP ක්‍රමවේදය යටතේ HRCSL clearance එක වැදගත් පියවරක් වූ අතර, අවසන් due diligence සහ reputational risk assessment සිදුකිරීමේ බලය UN සතුවද තිබුණා.

නමුත් 2024දී HRCSL එම විශේෂ screening භූමිකාවෙන් ඉවත් වීමෙන් පසු, 2026 නව contingent එක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව තමන්ගේ අභ්‍යන්තර screening ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා. Amnesty International 2026 ජූලි මාසයේදී නව හයිටි deployment එක පිළිබඳව අදහස් දක්වමින්, 2007 සිද්ධිය සම්බන්ධ වගවීමේ තත්ත්වය සහ නව deployment එක අතර සම්බන්ධය පිළිබඳ අවධානය යොමු කර තිබුණා.

එම සංවිධානය සඳහන් කර ඇත්තේ 2007 සිද්ධිය සම්බන්ධයෙන් අපරාධමය වරදකරුවකු බවට පත්වූ ශ්‍රී ලාංකික සාමසාධක භටයකු පිළිබඳ ප්‍රසිද්ධියේ පවතින තොරතුරු නොමැති බවයි. එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් screening ක්‍රියාවලියට සම්බන්ධ නොකළ යුතු බව Amnesty International ඉදිරිපත් කර තිබෙනවා. මෙය එම සංවිධානයේ ස්ථාවරයක් පමණක් වන අතර, ස්වාධීන පරීක්ෂණයකින් තහවුරු කළ නිගමනයක් නොවන බවත් අප අවධානයට ගත යුතුයි.

මූලිකවම 2007 හයිටි සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ගවල සම්පූර්ණ ප්‍රතිඵල මොනවාද යන්න හෙලි කලයුතු අතර 2024 දී HRCSL විශේෂ screening භූමිකාවෙන් ඉවත් වූ පසු විදේශීය සාමසාධක මෙහෙයුම් සඳහා යවන හමුදා සහ පොලිස් සාමාජිකයන් සඳහා ස්වාධීන දේශීය screening යාන්ත්‍රණය කෙසේ පවතින්නේද යන්නත් විවෘතව සදහන් කලයුතුවේ. ඒ අතරම, 1,132 ක නව බලකාය සම්බන්ධයෙන් සිදුකළ screening ක්‍රියාවලියේදී මෙරට ආයතන සතුව ඇති තොරතුරු පමණක් නොව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සතුව පවතින රහස්‍ය තොරතුරුද ප්‍රමාණවත් ලෙස සලකා බැලුවේද යන කරුනත් සලකා බැලිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You missed