2026 සැප්තැම්බර් 13 වැනිදා හංගේරියාවේ බුඩාපෙස්ට්හිදී පැවති මංගල World Athletics Ultimate Championship තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. පතිරගේ මීටර් 91.09 ක දුරක් වාර්තා කරමින් ශූරතාව හිමිකරගත් අතර, එම උත්සාහය ඔහුගේ සිව්වැනි වටයේදී වාර්තා කිරීමට හැකිවුනි. ඔහු තරගයේ පළමු වටයේදී මීටර් 75.89 ක්, දෙවැනි වටයේදී මීටර් 85.69 ක් සහ තෙවැනි වටයේදී මීටර් 87.11 ක් වාර්තා කර තිබුණා.

ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 86.18ක දුරක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත්වූ අතර, ජර්මනියේ ජූලියන් වෙබර් මීටර් 85.89ක දුරක් සමඟ තෙවැනි ස්ථානය හිමිකර ගත්තා.
මෙම ජයග්‍රහණය පතිරගේ ගේ 2026 තරග වාරයට එක්වන තවත් ප්‍රධාන ජාත්‍යන්තර ශූරතාවක් වන අතර, ලෝක මට්ටමේ ප්‍රමුඛ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් ඇතුළත් වූ තරගයකදී ඔහු ශූරතාව දිනා ගැනීම විශේෂත්වයක්. ශූරතාව සමඟ පතිරගේට ඇමරිකානු ඩොලර් 150,000ක ත්‍යාග මුදලක් හිමිවන අතර, එය වර්තමාන විනිමය අනුපාත අනුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 45කට අධික වටිනාකමක් වේ.

මෙම ත්‍යාග මුදල ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර පිටිය ඉසව්වකදී හිමිකරගත් ඉහළම ත්‍යාග මුදල් අතරට එක්වන අතර, පතිරගේගේ 2026 තරග වාරයේ ඔහු ලබාගත් ඉහලම මූල්‍යමය ජයග්‍රහණය ද වේ.

බුඩාපෙස්ට්හිදී ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ පතිරගේ තවත් ප්‍රධාන ජාත්‍යන්තර ශූරතාවක් ශ්‍රී ලංකාවට හිමිකර දී ඇති අතර, මීටර් 90 සීමාව ඉක්මවා යමින් ලබාගත් 91.09 m ප්‍රතිඵලය ද ඔහුගේ වත්මන් තරගකාරී මට්ටම තවදුරටත් සනාථ කරන ප්‍රතිඵලයක් බවට පත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *