ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ඇති කිරීම, ඔවුන්ගේ සෞඛ්‍යය තහවුරු කිරීම සහ අයාලේ යන සුනඛ ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. දශක ගණනාවක් පුරා මෙරට මහජන සෞඛ්‍යයට සහ සත්ව සුබසාධනයට දැඩි බලපෑමක් එල්ල කළ ගැටලු රැසකට තිරසාර විසඳුමක් ගෙන ඒමේ අරමුණින් මෙම නීතිමය රාමුව හඳුන්වා දී ඇත.

පනත් කෙටුම්පතට අනුව සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම මෙම පනතේ කේන්ද්‍රීය යෝජනාවයි. මීට අමතරව, ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම, සුනඛ ගහනය ක්‍රමානුකූලව පාලනය කිරීම සහ බොහෝ කාලයක් තිස්සේ කිසිදු නියාමනයකින් තොරව පැවති වාණිජ අරමුණු සඳහා සුනඛයින් අභිජනනය කිරීම (Commercial Dog Breeding) නීතිමය රාමුවකට යටත් කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතර වේ.

නව පනතට අනුව සුනඛයෙකු ඇති කිරීම හුදු විනෝදාංශයක් පමණක් නොව, එය දැඩි නීතිමය වගකීමක් බවට පත් කර තිබේ. සති 06 කට වැඩි වයසැති සුනඛයෙකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබාගෙන සිටින ඕනෑම පුද්ගලයෙකු විසින් එම සුනඛයා ජලභීතිකා රෝගයට එරෙහිව අනිවාර්යයෙන්ම එන්නත් කළ යුතු වේ. එපමණක් නොව, එලෙස එන්නත් කරන ලද සුනඛයා වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ (මහනගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා) ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇත.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සදහා සුනඛයා නියමිත පරිදි එන්නත් කළ බවට පශු වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන ලද සහතිකයක් ඉදිරිපත් කිරීම මෙහිදී මූලික අවශ්‍යතාවයකි. එම සහතිකය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නියම කර ඇති ලියාපදිංචි ගාස්තුව පළාත් පාලන ආයතනය වෙත ගෙවා එම සුනඛයා ලියාපදිංචි කළ යුතු අතර, එහිදී අදාළ සුනඛයා සඳහා විශේෂ ලියාපදිංචි කිරීමේ සහතිකයක් (Registration Certificate) නිකුත් කරනු ලබයි.

මෙම නීතිය කඩ කරන පුද්ගලයින් සඳහා දඩ අයකිරීමටද පනතින් යෝජනා කර ඇත. යම් හෙයකින් තම සුනඛයා ලියාපදිංචි කිරීමට අපොහොසත් වන පුද්ගලයෙකුට, නියමිත ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බව පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් වේ. මෙමගින් අපේක්ෂා කරන්නේ සුනඛ හිමිකරුවන් තුළ වගකීම් සහගත බවක් ඇති කිරීම සහ සුනඛයින් මහමග අතහැර දැමීමේ (Pet Dumping) ඛේදනීය ප්‍රවණතාවය අවම කිරීමයි.

ශ්‍රී ලංකාවේ වීදි සුනඛ ගහනය පිළිබඳව විධිමත් සංඛ්‍යා දත්ත නොමැති වුවත් විවිධ සත්ව සුභසාධන සංගම් වලින් කල විශ්ලේෂණ අනුව එම සංඛ්‍යාව දල වශයෙන් මිලියන 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් වන බවට සැලකේ. එය මහජන සෞඛ්‍යයට මෙන්ම මාර්ග ආරක්ෂාවට ද තර්ජනයක් වී තිබේ. මෙම ගැටලුවට මානුෂීය සහ විද්‍යාත්මක විසඳුමක් ලෙස වන්ධ්‍යාකරණය (Sterilization) මෙම පනත මගින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

සෑම පළාත් පාලන ආයතනයක්ම සිය බල ප්‍රදේශය තුළ සිටින අයාලේ යන සුනඛයින් අවස්ථාවෝචිත පරිදි වන්ධ්‍යාකරණයට ලක් කිරීමට පියවර ගත යුතු බවට පනතින් අනිවාර්ය කර තිබේ. මෙය හුදෙක් සෞඛ්‍යාරක්ෂිත පියවරක් පමණක් නොව, සත්ව හිංසනය අවම කිරීමේ ප්‍රබල පියවරකි. අතීතයේදී මෙන් අයාලේ යන සුනඛයින් විනාශ කිරීම වෙනුවට, අල්ලා වන්ධ්‍යාකරණය කර එන්නත් කිරීමෙන් පසු මුදා හැරීමේ (CNVR – Catch, Neuter, Vaccinate, Release) ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදය සඳහා නීතිමය පසුබිමක් මේ හරහා නිර්මාණය වේ. මේ සඳහා පළාත් පාලන ආයතන වෙත අවශ්‍ය ප්‍රතිපාදන සහ පශු වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ද මින් මතු කෙරේ.

මෙම පනතේ ඇති තවත් සුවිශේෂීම සහ කාලීන වශයෙන් අතිශය වැදගත් යෝජනාවක් වන්නේ වාණිජ අරමුණු සඳහා සුනඛයින් අභිජනනය කිරීම නියාමනය කිරීමයි. මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ විවිධ විදේශීය සුනඛ වර්ග (Pedigree Dogs) මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අභිජනනය කිරීම ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. බොහෝ අවස්ථාවලදී මෙම සුනඛ අභිජනන මධ්‍යස්ථාන (Puppy Mills) පවත්වාගෙන ගියේ සතුන්ට අවම පහසුකම් හෝ සෞඛ්‍යාරක්ෂාවක් නොමැති අතිශය කෲර තත්ත්වයන් යටතේය.

නව නීතියට අනුව, සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ඕනෑම පුද්ගලයෙකු ඒ සඳහා නිල බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වේ. බලපත්‍රයක් නොමැති කිසිදු පුද්ගලයෙකුට සුනඛ පැටවුන් අලෙවි කිරීම සඳහා මින් ඉදිරියට අවසර හිමි නොවේ. බලපත්‍රය ලබා දීමේදී එම මධ්‍යස්ථානවල ඇති ඉඩකඩ, සෞඛ්‍ය පහසුකම්, සතුන්ට ලබා දෙන ආහාර සහ පශු වෛද්‍ය අධීක්ෂණය යනාදිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂිතය.

මෙමගින් සත්ව හිංසනය අඩුවනවා පමණක් නොව, රෝගී වූ හෝ ජානමය ගැටලු සහිත සුනඛ පැටවුන් පාරිභෝගිකයින්ට අලෙවි කරමින් සිදු කරන වංචාවන් ද නතර වනු ඇත. බලපත්‍රලාභී අභිජනනය කරන්නන් (Ethical Breeders) පමණක් කර්මාන්තය තුළ ඉතිරි වීමෙන්, සුනඛයින්ගේ සෞඛ්‍ය ප්‍රමිතිය ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව ජලභීතිකා රෝගය නිවාරණය සහ පශ්චාත් නිරාවරණ ප්‍රතිකාර (Post-Exposure Prophylaxis – PEP) සඳහා රුපියල් බිලියන ගණනක මුදලක් වැය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව ජලභීතිකාව තුරන් කිරීම සඳහා සුනඛ ගහනයෙන් 70% ක් වත් අඛණ්ඩව එන්නත්කරණයට ලක් කළ යුතු වේ.

නිවාසවල ඇති කරන සුනඛයින්ට පවා නිසි පරිදි එන්නත් ලබා නොදීම හේතුවෙන් ජලභීතිකා අවදානම ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම පනත මගින් එන්නත්කරණය අනිවාර්ය කිරීම මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක බව ඉහල නැංවීමට අමතර සහායකි. ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශවලද සැරිසරන ලියාපදිංචි නොකළ සුනඛයින් හේතුවෙන් සිදුවන සපාකෑම් වලදී වින්දිතයින්ට මුහුණ දීමට සිදුවන මානසික සහ ශාරීරික පීඩාව මෙන්ම මරණීය අවදානම ද මෙම යාන්ත්‍රණය හරහා සැලකිය යුතු ලෙස අවම වනු ඇත.

නීති සම්පාදනය කිරීම කෙතරම් ප්‍රශංසනීය වුවද, එහි සැබෑ සාර්ථකත්වය රඳා පවතින්නේ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය මතය. ශ්‍රී ලංකාවේ බොහෝ පළාත් පාලන ආයතන දැනටමත් කාර්ය මණ්ඩල සහ මූල්‍ය අර්බුදවලට මුහුණ දී සිටියි. එවන් වටපිටාවක ලක්ෂ සංඛ්‍යාත සුනඛයින්ගේ ලියාපදිංචි දත්ත පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් තොරතුරු පද්ධතියක් (National Dog Registry) ස්ථාපිත කිරීම සෑම පලාත් පාලන ආයතනයකටම සිදුකල හැකිද යන්න සලකා බැලිය යුතුය. එමෙන්ම, මෙම ක්‍රියාදාමය සදහා අවශ්‍ය එන්නත්, වන්ධ්‍යාකරණ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ සහ පශු වෛද්‍යවරුන් ප්‍රමාණවත් පරිදි පළාත් පාලන ආයතන වෙත අනුයුක්ත කළ යුතුය. එබැවින් පනත් කෙටුම්පත සේම එමගින් අපේක්ෂිත කාර්යයන් ඉටුකිරීමට අවශ්‍ය යටිතල පහසුකම්ද ඇතිකිරීමට රජය කඩිනමින් පියවර ගත යුතුව ඇත.

සමස්තයක් ලෙස ගත් කල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ගෙන ආ මෙම නව පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව ශිෂ්ටසම්පන්න මෙන්ම සෞඛ්‍යාරක්ෂිත සමාජයක් කරා තබන ලද සුවිශේෂී ඉදිරි පියවරකි. සුනඛයින් යනු මිනිසාගේ සමීපතම මිතුරෙකු වන අතර, ඔවුන්ගේ සුබසාධනය තහවුරු කරන අතරම මහජනතාවගේ ආරක්ෂාවද සහතික කිරීම මෙම පනත් කෙටුම්පත මගින් විධිමත් කර ඇත. මෙම නීතිමය රාමුව සාර්ථක කර ගැනීම සඳහා වගකීම් සහගත පුරවැසියන් ලෙස සෑම සුනඛ හිමිකරුවෙකුගේම සහයෝගය නොඅඩුව හිමිවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *