Post Views: 135 ශ්‍රී ලංකාවේ ගෞරවනීය මෙන්ම වගකීම් සහගත ස්වේච්ඡා සේවාවක් වන සාම විනිසුරු (JP) තනතුර, දශක ගණනාවක් තිස්සේ දේශපාලන වාසි තකා සිදුකළ “අතමාරුවක්” බවට පත්ව තිබූ බව නොරහසකි. මැතිවරණ සමයන්හිදී දහස් ගණනින් බෙදා දුන් මෙම පත්වීම්වල ප්‍රමිතිය සහ විනිවිදභාවය පිළිබඳව සමාජය තුළ පැවතියේ දැඩි විවේචනයකි. කෙසේ වෙතත්, වර්තමාන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ, 2025 වසරේ සිට මෙම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බවයි. “සාම විනිසුරු පත්වීම් තවදුරටත් දේශපාලනිකව ලබා දෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු අවධාරණය කළේය. දත්ත පද්ධතියේ අවුල සහ නව විසඳුම්අමාත්යවරයා පෙන්වා දුන් පරිදි, 2013 වසරේ සිට මේ දක්වා මෙරට සාම විනිසුරුවරුන් 66,315 ක් පත් කර ඇතත්, ඔවුන්ගේ තොරතුරු නිසි පරිදි වර්ගීකරණය කළ දත්ත පද්ධතියක් පවත්වාගෙන ගොස් නොමැත. මෙම තත්ත්වය නිවැරදි කරමින් නව ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කෙරෙන අතර, සාම විනිසුරුවරුන් සෑම වසර දෙකකට වරක්ම තම ජීව දත්ත තොරතුරු යාවත්කාලීන කිරීම අනිවාර්ය කර ඇත. මේ යටතේ පත්වීම් සඳහා නව නිර්ණායක කිහිපයක් හඳුන්වා දී ඇති අතර මින් ඉදිරියට සාම විනිසුරු පත්වීම් ලබාදෙන්නේ ජනගහන අවශ්‍යතාව මත පදනම්වය. ඒ අනුව, එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ජනගහනය සහ භූමි ප්‍රමාණය අනුව 200:1 අනුපාතයට පත්වීම් සීමා වේ.අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙළ) විභාගය එකවර විෂයන් 06 කින් සමත් වීම සහ මව් භාෂාව ඇතුළු විෂයන් දෙකකට සම්මාන (C) සාමාර්ථ තිබීම අනිවාර්ය වේ. ඉංග්‍රීසි ලේඛන සහතික කරන්නේ නම් ඉංග්‍රීසි විෂය ද සමත්ව තිබිය යුතුය.වයස් සීමාව: අයදුම්කරු වයස අවුරුදු 30 ත් 75 ත් අතර විය යුතුය. (මෙම වයස් සීමාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වූ අතර, අවශ්‍ය නම් ඒ පිළිබඳ නැවත සලකා බැලීමට අමාත්‍යවරයා එකඟ විය).යෝග්‍යතාව : පත්වීම් ලබා දීමේ දී යහපත් කායික හා මානසික තත්ත්වයකින් යුක්ත පුද්ගලයෙකු බවට තහවුරු කිරීම සදහා රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.නීතිමය සහ සදාචාරාත්මක සුදුසුකම්: අපරාධ චෝදනා නොමැති, අධිකරණයෙන් දඬුවම් නොලැබූ සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන්නෙකු විය යුතුය. එමෙන්ම මින් ඉදිරියට පත්වීම් ලබන සාම විනිසුරුවරුන්ට පුහුණුවක් සහ ඔවුන් අධීක්ෂණයට ලක්වීම සිදුවන බවත් සදහන් කල අමාත්‍යවරයා, 2025 වසරට පෙර සාම විනිසුරුවරුන්ට නිසි පුහුණුවක් ලබාදීමේ ක්‍රමවේදයක් නොතිබූ බවත්, 2025 නොවැම්බර් මස සිට පත්වීම් ලබන්නන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම ආරම්භ කර ඇති අතර “සාමදාන විනිශ්චයකාර කාර්යභාර්ය” අත්පොත දැන් අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් හෝ පත්වීම් ලිපියේ ඇති QR කේතය මඟින් පහසුවෙන් බාගත හැකි බවත් පැවසීය. මීට අමතරව මහජන පැමිණිලි සඳහා නව අවස්ථා ඇතිකරමින් සාම විනිසුරුවරුන්ගේ සේවය පිළිබඳව මහජනතාවට ඇති ගැටලු හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට දැන් නවීන තාක්ෂණය භාවිතා කළ හැකි බවත් ඒ සඳහා වට්ස්ඇප් (WhatsApp) අංකයක් සහ ඊමේල් (Email) ලිපිනයක් හඳුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වාදුන් අතර අදාල පැමිණිලි අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශයට ලිඛිතව ද සිදුකල හැකි බවත් පැවසීය. මෙම තත්වය දශක ගණනාවක් පුරා පැවති දේශපාලන අනුග්‍රහය මත තනතුරු නාම බෙදා දීමේ යුගය නිමා කරමින්, සුදුසුකම් මත පදනම් වූ වගකීම් සහගත සාම විනිසුරු සේවාවක් ගොඩනැගීමට සාධනීය පියවරක් වන අතර මෙය අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමටද ඉවහල් වනු ඇත. Post navigation ජනපති මුල්ගල තැබූ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කෙරේ. National Commission on Women