ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගය අද (09) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවිය.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයාගේ ආරාධනාව අනුව ප්‍රථම‍යෙන් පන්දුවට පහර දීම ඇරඹූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 182 ක සබඳතාවක් ගොඩනැගුවේය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88 ක් ලබා දැවී යාමත් සමග පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 16 කදී දැවී යන ලදී. අනතුරුව පිටියට පිවිසි සදීර සමරවික්‍රම ද පැතුම් නිශ්ශංකට සහායක් වෙමින් ලකුණු 45 ක් ලබාගන්නා ලදී.
ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් ප්‍රෙක්ෂකයන් බවට පත්කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක 2000 වසරේදී ලකුණු 189 ක් රැස් කරමින් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව බිඳහෙලනු ලැබුවේ වේගවත් පිතිහරඹයක නිරතවෙමිනි. ඉන් නොනැවතුණු ඔහු ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට නොනවතින ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 200 යේ සීමාව ඉක්මවා ගියේ ද්විත්ව ශතයක් ලබාගත් පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට වාර්තා අතරට එක්වෙමිනි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හයේ පහර 8 ක් සහ හතරේ පහර 20 ක් ඇතුළත්ව පන්දු 139 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 210 කි.

ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 381 ක ඉලක්කයක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලබාදෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *