කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව ඇත.
ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගයන් පැවැත්වෙන බව යොහානි ද සිල්වා කියා සිටින්නීය.

30 වැනිදා ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් ඔ හිදීත් , ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රාබාද්හී හාට් කප් අවහන්හලේදී මෙම සංගීත ප්‍රසංග දෙක පැවත්වෙන බව ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව පවසන්නීය.
සැම විටම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත් , අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි යැයිද ඇය එම සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.
‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ ප්‍රතිනිර්මාණය කෙරෙහි ඉන්දීය ජනතාව දැක්වූ ආකර්ශනය තමාට තවමත් අදහාගත නොහැකි කාරණයක් බවද ඇය කියා සිටින්නීය.
ඉන්දියාවේ ප්‍රකට ජනමාධ්‍ය ආයතනයක් වන සී ලයිව් ඉන්ඩියා සමාගම හා සූපර් මූන් යන ආයතනය යොහානී ගේ මෙම සංගීත ප්‍රසංග දෙක සංවිධානය කරනු ලබයි.

මේ අතර ගායිකා යොහානි ද සිල්වා ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නවතම සංස්කෘතික තනාපතිනි යොහානි ද සිල්වා වන බවත් , ඇය මේ වන විට ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාලිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතක් බවත්ය.

Photo Credit Angelo Photography

Leave a Reply

Your email address will not be published. Required fields are marked *