රුපියලේ අගය විශාල ලෙස බාල්දු වීම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග, ශ්‍රී ලංකාව හදිසි ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ආණ්ඩුව පවසන්නේ මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා සහල් සහ සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සැපයුම සිය පාලනය යටතේ සිදුවනු ඇති බවය. ඉහළ යන බඩු මිල පාලනය කිරීමේ උත්සාහයක් වශයෙන් සහතික මිලක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ආණ්ඩුව කියා සිටියි. මේ වසරේදී රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 7.5%ක අගයකින් අවප්‍රමාණය වී ඇත. අඟහරුවාදා (අගෝස්තු 31) සිට පුළුල් පරාසයක හදිසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ.

ආණ්ඩුව විසින් අත්‍යාවශ්‍ය සේවා කොමිසමේ ප්‍රධානියා ලෙස හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරයෙකු වන සෙනරත් නිවුන්හැල්ල මහතා පත් කරනු ලැබ ඇත. වෙළෙන්දන් සහ කඩ හිමියන් සතු ‘සඟවා ඇති’ භාණ්ඩ තොග සිය භාරයට ගැනීමට ඔහුට බලය හිමි වේ.

“වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කරනු” ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ බව නිවේදනය කෙරුනේ සීනි, අල සහ ලූණු වැනි අත්‍යාවශ්‍ය ආහාරවල මිල විශාල ලෙස ඉහළ යාමත් සමගය. පසුගිය දිනවල කිරි පිටි, භූමිතෙල් සහ ගෑස් සිලින්ඩර්වල හිඟය හේතුවෙන් වෙළඳසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.

විදේශ විනිමය අනුපාතයේ ඉහළ යාම ද පසුගිය වසරක කාලය පුරා බොහෝ භාණ්ඩ මිල ඉහළ යාම කෙරෙහි බලපෑ එක් හේතුවක් වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. ආහාර මිලගනනන් ඉහළයාම හේතුවෙන් අගෝස්තු මස උද්දමනය සියයට 6ක් දක්වා අගයකට ඉහළ ගියේය. සිය ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතාවන්ගෙන් වැඩි කොටසක් රට තුළට ආනයනය කරන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය ද කොවිඩ් වසංගතය හමුවේ අකර්මන්‍ය වී ඇත.

සංචාරකයන් පැමිණීම පහළ බැසීමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.6%ක වාර්තාගත අගයකින් සංකෝචනය විය. ආණ්ඩුව විදේශ විනිමය රටෙන් පිටවීම වළකා ගැනීමේ අරමුණින් පසුගිය වසරේ මාර්තු මස දී මෝටර් රථ සහ තවත් භාණ්ඩ රැසක් ආනයනය කිරීම තහනම් කළේය. මුදල් සංචිත ගලා යාම පාලනය කිරීමේ උත්සාහයක් වශයෙන් පොලී අනුපාත ඉහළ නැංවූ කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පසුගිය මාසයේදී පත් විය.

කොවිඩ් මරණ සහ රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාමත් සමග මේ වන විට රට පුරා අගුළු දැමීමක් ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *