චීනයේ හොංකොං නුවර පැවැති 14 වන ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියට සහභාගී වී එහි තෙවන ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රී (16) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා නෙට්බෝල් ෆෙඩරේෂනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද එක්ව සිටියහ.

පිට පිට ආසියානු ශූරතා හතක අවසන් තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට, 14 වැනි ආසියානු නෙට්බෝල් ශූරතාවේ අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුව හමුවේ ලකුණු 54-82 ක පරාජයක් අත්වීමත් සමඟ වසර 21 කට පසු අවසන් තරගය අහිමි විය. ඉන් අනතුරුව මලයාසියාව සමග තෙවන ස්ථානය සදහා තරග වැදුනු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 65-60 ක් ලෙසට තියුණු තරගයකින් පසු තෙවැනි ස්ථානය දිනාගනිමින් ලෝකඩ පදක්කම ලබාගන්නා ලදී.

14 වැනි ආසියානු නෙට්බෝල් ශූරතාවයට කණ්ඩායම තේරීමේ මොහොතේ පටන් සිය වගකීම නිසි පරිදි ඉටුනොකරමින් නවක ක්‍රීඩිකාවන්ට නොයෙකුත් කෙනෙහිලිකම් කල ජාතික පුහුණුකාරිනීය මෙම පරාජයේ වගකීම භාර ගතයුතු බව ක්‍රිඩා විචාරකයින්ගේ මතයයි. විශේෂයෙන්ම, මෙවර තරගාවලියට නම් කරන ලද ක්‍රීඩිකාවන් 12 දෙනා අතරට එක්ව සිටි එකම පාසල් ක්‍රීඩිකාව වන මලියදේව බාලිකා ජාතික පාසලේ 18 හැවිරිදි ක්‍රීඩිකා තුමල්කා ඒකනායක ඉවත් කර ගැනීමට කණ්ඩායමේ පුහුණුකාරිය පළමු තේරීම් පරීක්ෂණයේ සිට ගත් උත්සාහයන් ව්‍යාර්ථ වී ගිය බව බොහෝ දෙනෙකු සදහන් කරයි. තුමල්කා වෙනුවට වෙනත් ක්‍රීඩිකාවක් ලබාදෙන ලෙස පුහුණුකාරිණිය කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල තේරීම් කමිටු සභා­පති පද්මා බැද්ද­වල මහ­ත්මිය සදහන් කර ඇත්තේ, “තුමල්කා ඒක­නා­යක ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩා­යමේ සිටිය යුතුම ක්‍රීඩි­කා­වක්, කණ්ඩා­යමේ අනා­ග­තය සකස් කිරීමේ අද­හ­සින් තිසලා අල්ග­මට පසු කණ්ඩා­යමේ සිටින උසම ක්‍රීඩි­කාව ලෙස තුමල්කා තෝරා ගත්තා. එහෙම දක්ෂ දරු­වෙක් කපන්න බෑ.” යනුවෙනි.

දක්ෂ මලල ක්‍රීඩිකාවක් මෙන්ම බැට්මින්ටන් ක්‍රීඩිකාවක් ද වන අඩි 6 අඟල් 2 ක් උසැති තුමල්කා උසින් දෙවැනි වන්නේ කණ්ඩායමේ නායිකා තිසලා අල්ගමට පමණි. එහෙත් දක්ෂතා අතින් ඇය පලපුරුදු ක්‍රීඩිකාවන්ට කිසිසේත්ම නොදෙවෙනි බව තේරීම් කමිටුවේ සාමූහික මතය විය. එමෙන්ම, ඇය මයිලෝ නෙට්බෝල් තරගාවලියේදී මෙන්ම මේ වසරේ පවත්වන ලද ඊවා නෙට්බෝල් තරගාවලියේදී ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනා තිබුණි. එවන් දක්ෂතා සහිත පසුබිමක් ඇති ඇය ජාතික කණ්ඩායම් පුහුණුකාරියගේ කෙනහිලිකම් මැද කෙසේ හෝ කණ්ඩායමත් සමග හොංකොං ගිය නමුත් ඇයගේ දක්ෂතා වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට පුහුණුකාරිණියට කිසිදු උවමනාවක් නොතිබූ බව හොදින්ම පෙනුනි.

මෙවර ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකා නෙට්බෝල් පිල පිටත්ව යෑමේදී ක්‍රීඩි­කා­වන් පිළි­බඳ මත­භේ­ද­යක් පුහු­ණු­කා­රිනි සොමිතා ද අල්විස් මහ­ත්මිය හා ශ්‍රී ලංකා නෙට්බෝල් සංග­මය අතර පැනනැඟී තිබූ අතර, අව­සා­නයේ වෛද්‍ය වාර්තා ගැට­ලු­ව­කට ද ක්‍රීඩා අමා­ත්‍යාං­ශය මැදි­හත් විය. තර­ගා­ව­ලි­යට පෙර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩි­කා­වන් කිහි­ප­දෙ­න­කුම ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා හමුවී යම් යම් ගැටළු ඉදි­රි­පත් කළ බවත් වාර්තා විය.

ශ්‍රී ලංකා පිල අව­සන් වරට පැවති 2024 ආසි­යානු ‍නෙට්බෝල් ශූර­තා­ව­ලියේ අව­සන් මහා තර­ග­යේදී සිංග­ප්පූ­රු­වට පරා­ජය වී අනු­ශූ­ර­තාව දිනා­ගත් අතර, 2022 තර­ගා­ව­ලි‍යේදී සිංග­ප්පූ­රුව පර­දවා ශූර­තාව දිනා ගැනී­මට සමත් විය. ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලියේ තෙවැනි ස්ථාන­යට පත්වූ ශ්‍රී ලංකා පිල ඊයේ (16) රාත්‍රියේ ශ්‍රී ලංකා­වට පැමි­ණී­ අවස්ථාවේ මාධ්‍යය වෙත අදහස් දැක්වූ, ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ ලේකම් දමයන්ති ජයතිලක සදහන් කලේ, ක්‍රීඩිකාවන් අතර පැවති අසමගිය මෙවර පරාජයට ප්‍රධානතම හේතුව වූ බවයි.

කෙසේ වෙතත්, මෙම පරාජයත් සමග ශ්‍රි ලංකාවට වර්ෂ 2027 සිඩ්නි හි පැවැත්වෙන ලෝක නෙට්බොල් ශුරතාවය ද අහිමි වී තිබේ. වසර 21 කට පසුව කණ්ඩායම ලද මෙම පසුබෑම සම්බන්ධව අදහස් දැක්වූ ජාතික පුහුණුකාරිනී සොමිතා අල්විස් ප්‍රකාශ කරන ලද්දේ, මෙවර පරාජයේ වගකීම තමා භාර ගන්නා බවයි.

කෙසේ වෙතත් කවුරුන් වගකීම බාරගත්තද මෙසේ බිදවැටෙන්නේ මෙරට ක්‍රීඩාව බව ක්‍රීඩිකාවන් මෙන්ම පරිපාලනයද තේරුම්ගත යුතුය. නෙට්බෝල් පමණක් නොව ඕනෑම ක්‍රීඩාවක ජීව ගුණය රදා පවතින්නේ එකමුතුකම, සහයෝගය මෙන්ම අනෙකාට ගරුකිරීම ආදී ගුණාංග රැකගතහොත් පමණක් බව සියල්ලන්ම අවධාරණය කරගත යුතුය.

By Dewmi Talisha

Dewmi Talisha Staff reporter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *