රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් රවටා ඔවුන්ට ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබා දෙන ජාවාරමකට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු ඇතුළු දෙදෙනෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

හෝමාගම සහ බුලත්කොහුපිටියේ පදිංචි අවුරුදු 34 ක සහ 28 ක වයස් වල පසුවන දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

කලක පටන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් රවටා ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබා දීමක් සිදුවන බවට තොරතුරක් විශේෂ කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් ඒකකයට පසුගියදා ලැබී තිබෙනවා.

එම තොරතුර අනුව විමර්ශනය කර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අකලංග නිලධාරියාගේ උපදෙස් මත උපාය දූතයෙකු යොදවා රුපියල් දස දහසක් ගෙවා රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සැලසුමක් සකස් කර එම බලපත්‍රය ලබා ගැනීමට යාමේදී මෙහි ප්‍රධාන සැකකරු මෙසේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුගෙන් ලද තොරතුරකට අනුව රියදුරු බලපත්‍ර වලට අලවන ආරක්ෂිත ස්ටිකරය ලබා දෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත ආරක්ෂක නිලධාරියකු ආරක්ෂිත ස්ටිකර්ස් 09 සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එම ස්ටිකර් සූක්ෂම ලෙස ආයතනයෙන් සොරාගෙන ප්‍රධාන සැකකරුට රුපියල් 500 මුදලකට විකිනීමට කටයුතු කර ඇත.

විමර්ශනයේදී හෙළිව අත්තේ, බලපත්‍රයක් සඳහා ඇනවුම ලැබීමෙන් පසුව ප්‍රධාන සැකකරු අයදුම් කරුගේ ඡායාරූප ලබාගෙන ජංගම දුරකථනයේ ඇප් එකක් හරහා ව්‍යාජ බලපත්‍ර සකසා කොමිනිකේෂන් එකකින් ප්‍රින්ට් අවුට් එකක් ලබාගෙන ඊට ආරක්ෂිත ස්ටිකරය අලවා රුපියල් දස දහසක මුදලකට පැය දෙකකින් මෙම බලපත්‍ර නිකුත් කිරීම කලක සිට කරගෙන ගොස් ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරලැස්ගමුව පොලිසියට භාරදී තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *