ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මෙහි විශේෂත්වය වූයේ මෙය හුදෙක් සැමරීමකට පමණක් සීමා නොවී, මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හමුවේ කාන්තාවන් මුහුණ දුන් මානව හිමිකම් අභියෝග පිළිබඳ අර්ථවත්, අයිතිවාසිකම් පදනම් කරගත් කථිකාවතක් ගොඩනැගීමයි.

ස්වාභාවික ආපදා සමස්ත ප්‍රජාවටම පොදුවේ බලපෑවද, පවතින සමාජ, ආර්ථික සහ සංස්කෘතික අසමානතා හේතුවෙන් කාන්තාවන් එම තත්ත්වයන්ට වඩාත් දැඩි ලෙස මුහුණ දෙන බව මෙම වැඩසටහනේදී අවධාරණය කෙරිණි. විශේෂයෙන්:
ජීවනෝපාය මාර්ග අහිමි වීම.
ආරක්ෂාව සම්බන්ධ ගැටලු.
සම්පත් වෙත ප්‍රවේශ වීමේ අපහසුතා.
තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ගෙන් බැහැර කිරීම. යනාදිය කාන්තාවන්ට ප්‍රබල ලෙස බලපාන බව මෙහිදී සිය අදහස් ඉදිරිපත් කල කාන්තාවන්ගෙන් මනාව තහවුරු විය.

මෙම සැමරුම් උළෙල දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සැබෑ ජීවිත අත්දැකීම් බෙදා ගැනීමට පුළුල් වේදිකාවක් සකසා දුන්නේය. මෙහිදී කුඩා හා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායන්හි නියැලී සිටින කාන්තාවන් සහ කාන්තා මූලික පවුල් මුහුණ දුන් ගැටලු පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරන ලදී. “කාන්තා දිනය යනු හුදෙක් උත්සවයක් නොවේ. එය කාන්තාවන්ගේ වගවීම, සමානාත්මතාවය සහ වෙනස් කොට සැලකීම් නොකිරීම ප්‍රවර්ධනය කිරීමට ඇති වැදගත් අවස්ථාවකි.” යන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙහිදී අවධාරණය කෙරුනු පණිවුඩයයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවට කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වූහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *