Post Views: 261 වර්තමානය වන විටදී මෙරට රථවාහන හිමියන් මෙන්ම නීතිය ආරක්ෂාකරන නිළධාරීන් පවා රථවාහන අංක තහඩු හා සම්බන්ධ නීතිමය තත්වය අමතක කර දමා කටයුතු කරන බවත් ඒ තත්වය රටේ විවිධ අපරාධ සඳහා යම් ආකාරයක පිටුබලයක් ඇතිව තිබෙන බවත් පෙනී යයි. මෙරට වාහන අංක තහඩු නිකුත් කිරීමට නීතීමය හිමිකම් සහිත එකම ආයතනය වන්නේ මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව පමණක් වන අතර පසුගිය කාලසීමාව තුල වාහන අංක තහඩු සැකසීමේ ටෙන්ඩරය ලබාදීම සම්බන්ධව පැවති ගැටළුකාරී තත්වයක් නිසා වසරකට ආසන්න කාලයක් වාහන අංක තහඩු නිකුත් කිරීමට හැකියාවක් නොතිබුනි. මේ තත්වයත් සමගම දීර්ඝ කාලයක් පුරා පැවති රථවාහන ආනයන සීමා රජය විසින් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකාවට නවීන වාහන ආනයනය ආරම්භ විය. එලෙස ගෙන්වන ලද වාහන ලියාපදිංචි කිරීමෙන් පසු මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව මගින් අංක තහඩුවක් නොලැබීම නිසා රථවාහන හිමියන් විවිධ පැහැයන් වල විවිධ ප්‍රමාණයන් වල සහ විවිධ හැඩයෙන් යුතු අංක තහඩු සවි කරගෙන රථ වාහන මාර්ග වල ධාවනය වන ආකාරය වර්ථමානය වන විට සුළභ දසුනක් වී ඇත. කරුනු එසේ වුවත් වාහන අංක තහඩු මෙසේ බාහිර ස්ථාන වලින් තම හිතුමනාපෙට සකස්කර සවිකර ගැනීම සම්බන්ධ නෛතික තත්වය පිළිබඳව සියල්ලන්ම දැනුවත්ව සිටීම වැදගත්ය. ශ්‍රී ලංකාවේ රථවාහන අංක තහඩු (Identification Plates) සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳව සියලුම කරුණු, ගැසට් නිවේදන සහ මෑතකාලීන සංශෝධන පිළිබඳව සලකා බැලීමේදී මෙරට තුළ ධාවනය වන ඕනෑම මෝටර් රථවාහනයක අනන්‍යතාවය තහවුරු කරන ප්‍රධානතම සාධකය වන්නේ එහි ලියාපදිංචි අංක තහඩුවයි. මෙය හුදෙක් අංකයක් ප්‍රදර්ශනය කිරීමක් පමණක් නොව, දැඩි නීතිමය රාමුවකට සහ තාක්ෂණික ප්‍රමිතීන්ට යටත් වූ ක්‍රියාවලියක් වන අතර එහි එකම බළධාරියා වන්නේ මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවයි. මෙහි මූලික නීතිමය ප්‍රතිපාදන සහ පනත් ගැන සැලකීමේදී, ශ්‍රී ලංකාවේ රථවාහන අංක තහඩු පාලනය කරනු ලබන්නේ 1951 අංක 14 දරන මෝටර් රථවාහන පනත (Motor Traffic Act) සහ එහි පසුකාලීන සංශෝධන මගිනි. පනතේ 21 සිට 24 දක්වා වගන්ති තුල වාහනයක් ලියාපදිංචි කිරීම සහ අංක තහඩු ලබාදීම පිළිබඳ මූලික නීති දක්වා ඇත. එහි 24A වගන්තිය මගින් අංක තහඩු සන්තකයේ තබා ගැනීම සහ ඒවායේ ප්‍රමිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන වැරදි පිළිබඳව විග්‍රහ කර ඇත. අංක තහඩුවේ ප්‍රමිතීන් සහ ප්‍රමාණයන් සම්බන්ධව සලකා බැලීමේදී, අංක තහඩුවක තිබිය යුතු දිග, පළල සහ අකුරුවල ප්‍රමාණයන් රජයේ අතිවිශේෂ ගැසට් නිවේදන මගින් වරින් වර ප්‍රකාශයට පත් කර ඇත. විශේෂයෙන්ම 2013 ඔක්තෝබර් මස අංක 1833/27 සහ 2017 අගෝස්තු මස අංක 2032/36 දරන ගැසට් නිවේදන අනුව,i මෝටර් රථ / වෑන් (දිගටි) – 520 mm x 110 mm – යුරෝපීය ප්‍රමිතිය (Long)ii ජීප් / වෑන් (හතරැස්) – 280 mm x 200 mm – පසුපස ඉඩකඩ අනුව (Square)iii යතුරුපැදි / ත්‍රිරෝද රථ – 240 mm x 130 mm – සම්මත ප්‍රමාණයiv යතුරුපැදි (විකල්ප) – 300 mm x 80 mm – නවීන මාදිලි සඳහා අංක තහඩුවක නිශ්චිත ප්‍රමාණයන් සදහන්ව ඇත. එමෙන්ම අංක තහඩුවේ වර්ණ සංයෝජනය සහ දෘශ්‍යතාව පිළිබඳවත් ප්‍රමිතයක් ඇති අතර, වාහනයේ ස්වභාවය අනුව අංක තහඩුවේ වර්ණය තීරණය කර ඇත.i පෞද්ගලික/පොදු වාහන: ඉදිරිපස සුදු පරාවර්තක පසුබිම සහ පසුපස කහ පරාවර්තක පසුබිම (කළු අකුරු).ii රාජ්‍ය තාන්ත්‍රික (Diplomatic): නිල් පසුබිම සහ සුදු අකුරු.iii ගරාජ්/වෙළඳ (Garage): රතු පසුබිම සහ සුදු අකුරු. අංක තහඩු ව්‍යාජ ලෙස සැකසීම වැළැක්වීම සඳහා රජය විසින් අනිවාර්ය ආරක්ෂිත අංග කිහිපයක් හඳුන්වා දී ඇත. ඒ අනුව,i රාජ්‍ය ලාංඡනය: තහඩුවේ වම්පස ඉහළ කෙළවරේ ලෝහය මතම එබ්බවා (Embossed) තිබිය යුතුය.ii ක්‍රෝමියම් හොලෝග්‍රෑමය: ඉරි කැබැල්ලට (Dash) ඉහළින් පිහිටා ඇති මෙය අනුකූලතාව තහවුරු කරයි.iii ලේසර් අනු අංකය: තහඩුව නිපදවූ ආයතනය සහ අනුපිළිවෙල දැක්වෙන රහස්‍ය අංකයකි.iv තුන්වන අංක තහඩුව: වීදුරුවේ අභ්‍යන්තරයේ ඇලවිය යුතු RFID තාක්ෂණය සහිත ස්ටිකරය. වශයෙන් ආරක්ෂිත අංග ඇතුලත්ව අංක තහඩු නිකුත් කරනු ලබයි. එමෙන්ම 2023 ට පෙර නිකුත් කෙරුනු අංක තහඩු සඳහා තිබූ පළාත් අක්ෂරය ඉවත් කිරීමට රජය තීරණය කල අතර ඒ අනුව, 2023 ජනවාරි 01 වනදා සිට නිකුත් කරන නව අංක තහඩු සඳහා පළාත් හඳුනාගැනීමේ අක්ෂර (උදා: WP, CP, SP) ඇතුළත් කිරීමක් නොකරයි. මේ නිසා දැනට පළාත් අකුරු සහිත වාහන සඳහා ඒවා එලෙසම භාවිතා කළ හැකි අතර, අලුතින් නිකුත් කරන තහඩුවල පළාත් අක්ෂරය නොමැතිව අනිකුත් ආරක්ෂක අංග සහිතව පමණක් අංක තහඩු නිකුත් කෙරේ. අංක තහඩු සැකසීම සම්බන්ධව පවතින ක්‍රමවේදය එසේ වන විටදී නීති විරෝධී හෝ ප්‍රමිතියෙන් තොර අංක තහඩු සම්බන්ධයෙන් ඇති නීතිමය තත්වය ඉතාමත් දැඩි සහ අධිකරණ ක්‍රියාවලියක් හරහා සිරදඩුවම් පවා ලැබිය හැකි වරදකි.2018 අංක 2054/09 දරන ගැසට් නිවේදනය අනුව අංක තහඩු සම්බන්ධ වැරදි සඳහා ස්ථානීය දඩ ලබා දීමට හැකියාව ඇති අතර (Spot Fines) අවම දඩය රු. 1000 කි. එමෙන්ම, අංක තහඩු නිෂ්පාදනය සහ ඒවායේ ඇති ආරක්ෂිත ජල සලකුණු (Watermarks) වල ඇති වැදගත්කම මත අංක තහඩුවක් ස්ටිකර් මගින් ආවරණය කිරීම හෝ අංක වෙනස් කිරීම “ව්‍යාජ ලේඛන සැකසීම” යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පවා ලක් කළ හැකි වරදක් ලෙස සැලකේ.එමෙන්ම, මෑතකාලීන නඩු තීන්දු අනුව, අංක තහඩුවේ හොලෝග්‍රෑමය වැසෙන පරිදි ප්ලාස්ටික් ආවරණ (Frames) යෙදීම හෝ අංක තහඩුව නැමීම (විශේෂයෙන් යතුරුපැදිවල) පොලිසිය විසින් රථය රඳවා ගැනීමට හෝ උසාවියට ඉදිරිපත් කිරීමට පවා හැකි කරුණකි. මෙවන් නීතිමය තත්වයක් තුල වාහනයක අංක තහඩුවක් අස්ථානගත වීම හෝ විනාශ වීමකදී, රථවාහන හිමිකරුවෙකු එය නැවත ලබාගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් ක්‍රමානුකූලව සිදු කළ යුත්තකි. මක්නිසාද යත්, ඔබ රජයේ අනුමැතියකින් තොරව පිටතින් අංක තහඩුවක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී වන බැවිනි. එමෙන්ම ඔබගේ අස්ථානගතවූ අංක තහඩුව අපරාධ්කරුවෙකු අතට පත්වීමේ බරපතල අවධානමක්ද තිබෙන නිසා නිසි නීතිමය ක්‍රමවේදය අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්ය. මෙහිදී,පළමුව ඔබ විසින් අංක තහඩුව නැති වූ වහාම, එය නැති වූ ප්‍රදේශයේ හෝ ඔබ පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් කළ යුතුය. පැමිණිල්ලේදී වාහන අංකය, නැති වූ දිනය සහ වේලාව නිවැරදිව සඳහන් කරන්න. පොලිසිය විසින් ලබා දෙන පැමිණිලි පිටපතේ සහතික කළ පිටපතක් (Certified Copy) ලබා ගන්න. ඉන් අනතුරුව මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවට (DMT/RMV) අදාල ලියවිලි ඉදිරිපත් කිරීමෙන් නව අංක තහඩුවක් ලබාගත හැකි අතර ඒ සදහා,පොලිස් වාර්තාව: පොලිසියෙන් ලබාගත් සහතික කළ පැමිණිලි පිටපත.වාහන ලියාපදිංචි සහතිකය (CR): මෙහි මුල් පිටපත සහ ඡායා පිටපතක්.ආදායම් බලපත්‍රය (Revenue License): වලංගු කාල සීමාව සහිත මුල් පිටපත සහ ඡායා පිටපතක්.හිමිකරුගේ හැඳුනුම්පත (NIC): මුල් පිටපත සහ ඡායා පිටපතක්.ඉතිරිව ඇති අංක තහඩුව: ඔබ සතුව තවත් එක් අංක තහඩුවක් තිබේ නම් (උදා: පසුපස තහඩුව පමණක් තිබේ නම්), එය ද සමග වාහනය පරීක්ෂාව සඳහා අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුය. අනතුරුව MTA 66 (අනු පිටපතක් ලබාගැනීමේ අයදුම්පත) හෝ අදාළ පෝරමය සම්පූර්ණ කර අංක තහඩුව සඳහා නියමිත ගාස්තුව ගෙවා රිසිට්පත ලබා ගැනීමෙන් පසු වාහන පරීක්ෂකවරයා (Examiner) විසින් වාහනය පරීක්ෂා කර අනුමැතිය ලබා දෙනු ඇත. අලුත් අංක තහඩුව මුද්‍රණය කර ලැබෙන තෙක් මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව විසින් තාවකාලික අවසර පත්‍රයක් නිකුත් කරනු ලබයි. අංක තහඩුවක් නොමැතිව වාහනය ධාවනය කිරීමේදී පොලිසියට පෙන්වීමට මෙය අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් සති කිහිපයක් තුල නව අංක තහඩුව නිකුත් කිරීම සිදු කෙරේ. මේ තත්වය තුල ඔබ විසින් ඔබගේ රථ වාහන සදහා විවිධ බාහිර ආයතන වෙතින් හෝ වාහන අලංකරණ කටයුතු සිදුකරන ස්ථාන වෙතින් අංක තහඩුවක් සකස්කර ගැනීමේදී දෙවරක් සිතා කටයුතු කලයුතු අතර එසේ නොවුන හොත් ඔබේ මුදලත් අපතේ ගොස් ඔබ නීතිය ඉදිරියේ වරදකරුවෙකු බවට පත්වීමට පවා ඉඩ ඇති බව සිහියට ගත යුතුය. Post navigation නීතීඥ ඝාතනය වෘත්තීය අනතුරු ඇඟවීමක්ද ? ආරක්ෂාවට වඩා අවශ්‍ය ප්‍රතිපත්තිමය ශෝධනයයි. ජනපති මුල්ගල තැබූ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කෙරේ.