ඖෂධයක් භාවිතයේ දී ඇති වූ බව කියන සිදුවීමක් පාදක කර ගනිමින් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සිදුකල ප්‍රචාරයක් මගින් තමන්ට අපහාසයක් සිදුවූ බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා චෝදනා එල්ල කොට තිබුනි.

ධර්මශ්‍රී කාරියවසම් තම යූ ටියුබ් නාලිකාව හරහා “ජීවිත බිලිගත් ඉන්දියානු ඖෂධයේ සැඟවුණු කතාව, නගරාධිපති බල්තසාර්ගේ ඥාතියා සහ අමාත්‍ය නලින්දගේ ආවරණය” යන මාතෘකාව යටතේ වැඩසටහනක් ප්‍රකාශයට පත් කර ඇති බවත් එකී වැඩසටහන මගින් ඖෂධය ආනයනය කිරීම, සැපයුම්කරු සමඟ කුමන්ත්‍රණය කිරීම සහ ගැටලුව සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද සෘජුවම වගකිව යුතු බව නිරූපණය කර ඇති බව හැඟවෙන ආකාරයට කරුණු ඉදිරිපත් කිරීම හරහා මෙම අපහාසය සිදුව ඇති බව සඳහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නීතිඥයන් විසින් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා වෙත එන්තරවාසියක් යවා තිබුනි.

එම එන්තරවාසිය මගින් අදාල ව්‍යාජ චෝදනාව හේතුවෙන් තමන්ට සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා තිබුණ ද ධර්ම ශ්‍රී කාරියවසම් මහතා එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා තිබුනි.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක් වන්දි ලෙස ඉල්ලා ධර්ම ශ්‍රී කාරියවසම් මහතාට එරෙහිව අද (09) කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *