Post Views: 235 ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අතර අද (5) සිට පෙබරවාරි 11 වනදා පෙරවරු 07.00 දක්වා පැය 24 පුරාම ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ අවස්ථාව සැදැහැවතුන්ට හිමි බව ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසීය. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයා ගැණුනු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ඊයේ (04) මෙරටට වැඩම කරවා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පීඨිකාවක තැන්පත් කරණු ලැබීය. අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සර්වඥ ධාතූන් වහන්සේට පුෂ්පෝහාර සිදුකර වැඳපුදා ගැනීමෙන් පසුව සැදැහැවතුන්ට වන්දනාමාන කරගැනීමේ ඉඩප්‍රස්ථාව ලබාදුනි. ඉන්දියාවෙන් පිටතට පළමු වරට වැඩමකරවූ උතුම් සර්වඥ ධාතූන්වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමට නන් දෙසින් සැදැහැවතුන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටින අතර ඒ වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේ මෙන්ම ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එමෙන්ම, රථ වාහන තදබදය අවම කිරීමට ඒ අවට මාර්ග කිහිපයක් වසා තැබීමට සහ සැදැහැවතුන්ට සිය වාහන ගාල්කිරීමට ගාස්තු අය කිරීමට තොරව රථගාල් කිහිපයක්ද ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි. එමෙන්ම ගඟාරාමය විහාරස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පැය 24 පුරාම දන්සැලක්ද සංවිධාන කර ඇති අතර විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. Post navigation ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. ඉෆ්තාර් සැමරුමට එක්වූ ජනපතිට ලැබුනු තෑග්ග.