Post Views: 71 ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ පිහිටි දෙව්නි මෝරි (Devni Mori) ප්‍රදේශයෙන් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදාගැනීමට මෙරට සැදැහැවතුන්ට එළඹෙන 5 වනදා සිට අවස්ථාව උදාවනු ඇත. ඒ 78 වන නිදහස් සමරුවට සමඟාමීව එකී උතුම් සර්වඥ ධාතූන්වහන්සේ හෙට දින (4) මෙරටට වැඩම කරවන බැවිනි. ඉන් අනතුරුව පෙබරවාරි මස 05 දින සිට 11 දින දක්වා කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වැඳපුදා ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා ඇත. දෙව්නි මෝරි ප්‍රදේශයේ සිදු කළ පුරාවිද්‍යාත්මක කැණීම් අතරතුර සොයාගත් ස්තූපයකින් මෙම ධාතූන් හමුවී ඇත. එහි තිබූ ධාතු කුටියක (reliquary) අභිලේඛනයක් ද ඇතුළත් වූ අතර, එම අභිලේඛනයේ සඳහන් කරුණු අනුව මෙම සර්වඥ ධාතූන්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතූන් බවට පුරාවිද්‍යාඥයන්ගේ මතය වී ඇත. මේ පිළිබඳව ලෝකයේ විශේෂ අවධානයක් යොමුව ඇති අතර මෙම සොයාගැනීම බුද්ධ ශාසන ඉතිහාසය හා පුරාණ ඉන්දියානු බෞද්ධ සංස්කෘතිය පිළිබඳ වැදගත් සාක්ෂියක් ලෙස පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. පුරාවිද්‍යාඥයන්ගේ මතය අනුව, මෙම ස්තූපය කුෂාණ යුගයට (ක්‍රි.ව. 1–2 ශතවර්ෂ) අයත් විය හැකි බවත්, ඒ අනුව මෙය එම කාලය වනවිට බුද්ධ ධාතූන්ට මහත් ගෞරවයක් දක්වමින් වන්දනාමාන කිරීමේ සම්ප්‍රදාය පැවති බවට පැහැදිලි සාක්ෂියක් වන බවත් පෙන්වා දෙයි. මෙම උතුම් සර්වඥ ධාතූන් මෙරටට වැඩමකරවීම ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාර ශ්‍රී ආචාර්ය දෙව්ව්‍රට් මහතා ප්‍රමුඛ දූත පිරිසක් බාරයේ සිදුකිරීමට නියමිතව ඇත. Post navigation “සලාම් රමසාන් 2026” ශ්‍රී ලාංකේය මුස්ලිම් සංස්කෘතික මංගල්‍යය කොළඹදී පැවැත්වේ. ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.