නීති විරෝධී ලෙස අල්ලා ගත් අලි පැටවුන් නිදහස් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබු රිට් අයැදුම්පත
අද (29) විභාගයට ගත් අභියාචනාධිකරණය විසින් මෙයට පෙර මහේස්ත්‍රාත් අධිකරණ නියෝග අනුව මුදා හරින ලද අලි ඇතුළු අධිකරණයේ පැවැත්වෙන නඩුවට සම්බන්ධ කිසිදු අලියෙකු නැවත දන්වනතුරු ලියාපදිංචි කිරීමෙන් වලකින ලෙස නියෝග කරන ලදී.

මෙම අලි අතරට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ චරක නම් අලි පැටවාද අයත්වේ.

එයට අමතරව සුජීවා මවු ඇතින්න සහ පැටවාගේ භාරකාරත්වය එහි මුල් අයිතිකරුවන්ට පැවරීම තහනම් කරමින් ඔවුන් දැනට රඳවා ඇති ස්ථානයේ ම තවදුරටත් රඳවා තැබීමට රිට් ආඥාවක් නිකුත් කරන ලදී.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ අද මෙම පෙත්සම සලකා බලන ලදී

තවද, මෙම අලින්ගේ භාරකාරත්වය ඉල්ලා ඇති මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවල පාර්ශව කිහිපයක් ද මෙම නඩුවට ඇතුලත් වීම සඳහා අද දින ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. එම ඉල්ලීම් සියල්ල සලකා බැලූ අධිකරණය ඔවුන් ද මෙම නඩුවේ පාර්ශවකරුවන් ලෙස ඇතුලත් කිරීමට තීරණය කරනු ලැබීය. එම ඉල්ලීම් සම්බන්ධ විරෝධතා කිසිවක් වෙතොත් ඒවා ගොනුකිරීම සඳහා ගරු අධිකරණය විසින් සති 02 ක කාලයක් ලබාදෙනු ලැබූ අතර නඩුව ඔක්තෝබර් මස 13 වන දින නැවත කැඳවීමට තීරණය විය.

පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් මෙම රිට් අයදුම්පත්‍රය ගොනු කිරීම, දිලීනා පත්‍රගොඩ, හේමන්ත විතානගේ, පංචාලි පනාපිටිය, මහේෂි නානායක්කාර, විශාඛා තිලකරත්න යන මහත්ම මහත්මීන් විසින් සිදු කල අතර, වනජීවි සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ – විශේෂ විමර්ෂණ අංක 01 කාර්ය භාර නිලධාරිවරයා, පොලිස්පතිවරයා, එස්. ප්‍රභාකරන් සහ සී. වික්‍රමනායක යන ගරු මහේස්ත්‍රාත්වරුන් සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම නඩුව පවරා තිබිණි. ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේය.

2 thoughts on “අලි නඩුවේ හිලෑ අලි ලියාපදිංචියට අභියාචනාධිකරණයෙන් වාරණයක්.”
  1. රටේ නීතිය තාම ටිකක් හරි ක්‍රියාත්මක වෙනවා වගේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *