Post Views: 679 බස්නාහිර පළාත් සභාව සහ කොළඹ මහා නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන “සලාම් රමසාන් 2026” (Salam Ramadan 2026) සංස්කෘතික උළෙල එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසවලදී අති උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. පාරිශුද්ධ වූ රමසාන් මාසය තුළ ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධය, ඇගයීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. 2025 වසරේදී ප්‍රථම වරට ආරම්භ වූ මෙම වැඩසටහන, එම වසරේ ලද අතිමහත් සාර්ථකත්වය මත පදනම්ව මෙවර දෙවන වරටත් සංවිධානය කර තිබේ. උත්සවයේ විස්තර:දිනයන්: 2026 පෙබරවාරි 27, 28 සහ මාර්තු 01 යන දිනවලදී.ස්ථානය: කොළඹ ග්‍රීන් පාත් (Green Path / ආනන්ද කුමාරස්වාමි මාවත).වේලාව: සවස 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා. මෙම තෙදින සංස්කෘතික මංගල්‍යය ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාවට අයත් මූර් (Moors), මැලේ (Malays), මේමන් (Memons) සහ බෝරා (Bohras) යන උප සංස්කෘතීන්හි අනන්‍යතාවයන් ලොවට විදහා දක්වන වේදිකාවක් වනු ඇත. මෙහිදී එම ප්‍රජාවන්ගේ සාම්ප්‍රදායික ආහාර පාන, ඇඳුම් පැළඳුම්, හස්ත කර්මාන්ත සහ සංස්කෘතික අංග රැසක් ප්‍රදර්ශනය කෙරේ. මැදපෙරදිග රාමසාන් වීදි අසිරිය සිහිගන්වන අයුරින් අලංකාරවත් ලෙස නිර්මාණය වන මෙම උත්සව භූමිය තුළ ප්‍රධාන සංස්කෘතික වේදිකාවක් ද ක්‍රියාත්මක වේ. එහිදී ගායනා, නර්තන, නාට්‍ය සහ බයිත් (Baith) ගායනා ඇතුළු විවිධ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට පාසල් සහ ප්‍රජා කණ්ඩායම්වලට අවස්ථාව සලසා දී ඇති අතර ඒ වෙනුවෙන් විශේෂ ඇගයීම් සම්මාන ද පිරිනැමීමට නියමිතය. මීට අමතරව, මුස්ලිම් උරුමය පිළිබඳ අධ්‍යාපනික කුටි, නොමිලේ ලබාදෙන ආගමික සාහිත්‍ය ප්‍රකාශන, හැනා කලාව (Henna Art), අරාබි අක්ෂර කලාව (Arabic Calligraphy) වැනි සජීවී අත්දැකීම් රාශියක් නරඹන්නන් සඳහා විවෘත වේ. ජාති, ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙම සුවිශේෂී සංස්කෘතික අත්දැකීම විඳගැනීම සඳහා සලාම් රමසාන් 2026 කමිටුව ඉතා ගෞරවයෙන් ජාති ආගම් භේදයකින් තොරව සියලුදෙනාටම ආරාධනා කර සිටියි. වැඩිදුර තොරතුරු සඳහා: සලාම් රමසාන් උත්සව ලේකම් කාර්යාලය 106/8, කිරුළ පාර, කොළඹ 05. දුරකථන: +94 773 442 384 | +94 775 239 169 විද්‍යුත් තැපෑල: mersumim@gmail.com Post navigation 40 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අරලියගහ මන්දිරයේ දී ඉන්දියාවේ දෙව්නි මෝරි ප්‍රදේශයෙන් සොයාගත් උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් මෙරටට වැඩම කරවීම හෙට.