මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතල ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ චූදිත කාන්තාවක් අද (16) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපලෙන් මෙරටට රැගෙන එන ලදී.

ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර ලබාගත් රතු නිවේදන යටතේ අබුඩාබි ජ්‍යාතන්තර පොලිසියි හා ඩුබායි පොලිසිය පසුගිය දිනයන් තුළ මෙම සැකකරුවන් හා සැකකාරිය එරටදී අත්අඩංගුවට ගෙන තිබූ අතර උදර්පණ නීතිය යටතේ ඇති ජ්‍යාත්‍යන්තර සබඳතා මගින් එහිදී මොවුන් කඩිනමින් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාර දීම සිදුවිය.

මෙසේ මෙරටට රැගෙන ආ එක් සැකකරුවෙක් වයස අවුරුදු 52 ක් වන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 30 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. චූදිත තැනැත්තිය වයස අවුරුදු 56 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.

කඳාන ප්‍රදේශයේ පදිංචි සැකකරු 2025 වසරේ ජූලි මස කාර් රථයකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියට සෘජුවම සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ වී ඇති සැකකරුවෙකු ලෙස හඳුනාගෙන රතු නිවේදන ලබාගෙන තිබුනි.
චූදිත කාන්තාව මෙරට විදෙස් තානාපති කාර්යාලයක සේවය කරමින් රජයේ මුදල් වංචාකර කොළඹ මහ අධිකරණය මගින් සිර දඩුවම් හා දඩ නියම වූ තැනැත්තියකි.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට හා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට මෙම භාර දීමට නියමිත අතර සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *