තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16) උදෑසන 9 ට ලේක් හවුස් ආයතන ඉදිරිපිටින් ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාවට මහමාර්ග, ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අරුණ බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් ඇතුළු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් හා ලේක් හවුස් ආයතනයේ නිලධාරීන් සහභාගී වූහ.

Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරට ගමන් කරන අතර, එහි දෙවන දිනය නුවරින් ආරම්භ වී අනුරාධපුරයට ගමන් කිරීමට නියමිතය. එය 18 වැනිදා අනුරාධපුරයෙන් කොළඹ බලා පැමිණේ.

පාපැදී සවාරිය සමාරම්භක අවස්ථාවට සහභාගී වූ මහමාර්ග, ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, රට යන රේස් එකට Lanka Ride නව ජවයක් එකතු කරන බවයි. රට සංවර්ධනය වෙමින් නව දිශානතියකට ගමන් කරන මොහොතක Lanka Ride පාපැදි සවාරිය සංකේතාත්මක වටිනාකමක් එකතු කරන්නක් බවයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙම අවස්ථාවේ දී පැවසුවේ, නව ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම වෙනුවෙන් සැලසුම් කර ඇති වර්ෂයක ආරම්භක වැඩසටහනක් ලෙස Lanka Ride පාපැදි සවාරිය පවත්වන බවයි.

මෙම පාපැදි සවාරිය සඳහා කණ්ඩායම් 27 ක ක්‍රීඩකයින් සම්බන්ධ වී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *