කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් එළඹෙන ජුනි මස 18 සිට 21 දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය පවත්වන බව නිල වශයෙන් අද (09) ප්‍රකාශ කරන ලදී.

මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය වසර 14 ක විරාමයකින් පසු නැවත ක්‍රියාත්මක වන අතර අවසන් ප්‍රදර්ශනය 2012 වසරේදී පවත්වන ලදී. ලංකාවේ විවිධ කර්මාන්ත, නිෂ්පාදන, සේවා සහ ආයෝජන අවස්ථා ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රමුඛ ගෝලීය වේදිකාවක් ලෙස ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 කටයුතු කරනු ඇත.

රජයේ ආර්ථික වර්ධන උපායමාර්ගික දැක්ම යටතේ, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින් අපනයන වර්ධනය කිරීමෙන් සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ සමඟ ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 ක්‍රියාත්මක වන අතර 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් ලබා ගැනීමට මෙය සහායක් වනු ඇත.

ශ්‍රී ලංකා expo 2026 දකුණු ආසියාවේ වෙළෙඳ හා ආයෝජන සඳහා තරගකාරී හා නව්‍ය ගමනාන්තයක් ලෙස අප රට ස්ථානගත කරනු ඇත. ඒ වෙනුවෙන් ප්‍රදර්ශනය අංශ ගණනාවක් යටතේ පුළුල් නියෝජනයක් සහිතව පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙනු ඇත. ඒ යටතේ කාර්මික අංශය, කෘෂිකාර්මික අංශය, අපනයන සේවා, වෙළඳ මණ්ඩප යන ප්‍රධාන අංශ යටතේ ඇඟලුම්, රෙදිපිළි සහ විලාසිතා , මැණික් සහ ස්වර්ණාභරණ, බෝට්ටු නිෂ්පාදනය, ඉංජිනේරු සහ මෝටර් රථ සංරචක, රබර් හා පොලිමර් නිෂ්පාදන, විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, හස්ත කර්මාන්ත නිෂ්පාදන, ඖෂධ, ඛනිජ හා ඛනිජ පදනම් කරගත් නිෂ්පාදන, තේ, කුළුබඩු , පොල් ආශ්‍රිත නිෂ්පාදන, ධීවර, සැකසූ ආහාර සහ බීම, ආයුර්වේද සහ ශාකසාර නිෂ්පාදන, කැපූ මල් සහ කොළ, විසිතුරු මත්ස්‍යයින්, පලතුරු සහ එළවළු, තොරතුරු සන්නිවේදන තාක්ෂණය / ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සමුද්‍ර හා අක්වෙරළ සේවා, ලොජිස්ටික්ස්, ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්තිය, සුවතා සහ සෞඛ්‍ය සේවා ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර 24 ක් ආවරණය කරමින් විවිධ ව්‍යාපාර හා සේවා අංශ ඇතුළත් ප්‍රදර්ශනයක් මේ හරහා ගෝලීය වෙළඳපළ වෙත එළි දක්වනු ඇත.

මෙවර ප්‍රදර්ශනය සඳහා සඳහා ජාත්‍යන්තර ආයෝජකයින් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීම සඳහා මෙයට සහභාගී වන ජාත්‍යන්තර ආයෝජකයින් සහ නරඹන්නන් සඳහා ප්‍රතිලාභ ගණනාවක් දියත් කිරීමට නියමිත‍ය. ඒ යටතේ තරු පන්තියේ හෝටල්වල නොමිලේ නවාතැන් පහසුකම්, ප්‍රමුඛ ශ්‍රී ලාංකික අපනයනකරුවන් සමග පූර්ව සූදානම් කළ හමුවීම්, ආයෝජන සංසදය සහ කර්මාන්ත සැසි සඳහා ආරාධනා, විලාසිතා ප්‍රදර්ශන සහ සංස්කෘතික සංදර්ශන සඳහා ආරාධනා, ශ්‍රී ලංකන් එයාර් ලයින් වෙතින් වට්ටම් කළ ගුවන් ටිකට් පත්, වීසා ආරාධනා ලිපි, ගුවන්තොටුපලෙන් රැගෙන යාම සහ ආපසු ගෙනවිත් බැස්සවීම, නවාතැන් ගන්නා හෝටලයේ සිට එක්ස්පෝ ප්‍රදර්ශන ස්ථානය දක්වා ප්‍රවාහන සේවාවන් ආදි විශේෂිත පහසුකම් රැසක් ලබා දීමට නියමිතය.

මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මෙම ප්‍රදර්ශණය ශ්‍රී ලංකාවේ දේශිය නිෂ්පාදන ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට සහ ජාත්‍යන්තර වෙළඳපොළේ අපගේ පැවැත්ම ශක්තිමත් කිරීමට ගන්නා ලද සුවිශේෂී උපායමාර්ගික පියවරක් ලෙස වැදගත් වන බවත් මෙමගින් රජයේ ප්‍රතිපත්ති සහ පෞද්ගලික අංශයේ හැකියාවන් එකිනෙකට සම්බන්ධ කරමින්, රටේ දිගුකාලීන ආර්ථික සහ තිරසාර වර්ධනයක් ඇති කිරීමට හැකියාවක් ලැබෙන බව පැවසීය. එසේම “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” යනු අපගේ ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෝක වෙළඳපොළට රැගෙන යන ශක්තිමත් පාලමක් බවත් එමඟින් දේශීය ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර අවස්ථාවන් රැසක් උදාකරගත හැකි වන බවද පැවසීය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී අදහස් දක්වමින්, මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 16% ක් පමණ වන වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 2030 වන විට 20% ක් දක්වා වැඩි කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 28 ක් දක්වා වර්ධනය කර ගැනීමත් කර්මාන්ත සඳහා වෙන්කර ඇති ඉඩම් ප්‍රමාණය 2030 වන විට 1% ක් දක්වා වැඩි කර ගැනීමත් කර්මාන්ත අමාත්‍යාංශයේ ඉලක්කය බව පැවසූවාය. මෙම “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” ප්‍රදර්ශණය හරහා වේගයෙන් පරිණාමණය වන ගෝලීය වෙළඳපළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත ගෝලීය වෙළඳපොළට ප්‍රදර්ශනය කිරීමත්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට හා දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳ හා ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ප්‍රදර්ශනය පිළිබදව නිල දැනුවත් කිරීමට සමගාමීව “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” වෙබ් අඩවිය එළිදක්වීම සිදු කෙරුනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය කුමාර ජයකොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, අරුන් හේමචන්ද්‍ර, එරංග වීරරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඇතුළු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්, ආයෝජකයින්, වාණිජ මණ්ඩල ප්‍රධානීන්, අපනයනකරුවන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *