විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” වැඩසටහනේ 55 වැනි අදියර යටතේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම පසුගියදා (21) සිදුකෙරිණි.

දැයේ දුවා දරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය වර්ධනය කිරීම සහ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගෙන “සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන” ක්‍රියාත්මක කෙරේ.

එහිදී විපක්ෂ නායකවරයා සදහන් කරන ලද්දේ, මේ රට ධනපති සුපිරි පැළැන්තියකට අයිති රටක් නොව ලක්ෂ 220 ක් ජනතාවට අයිති රටක් බැවින් රටේ අනාගතය වන රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීමේ වගකීම දෙමාපියන්ට සේම රටේ ජනාධිපති සහ ආණ්ඩුවේ ද වගකීම බවයි.
එමෙන්ම, මේ වන විට රටේ ජීවනෝපායන් කඩා වැටී ආර්ථිකය බංකොලොත් වී ඇති මොහොතක සමහර පාර්ශ්ව වංචාකාර දේශපාලන නාට්‍ය නිෂ්පාදනය කරමින් සිටින බවත් අලුත්ම විහිළුව වී ඇත්තේ අයවැයට, වැට් බදු වැඩි කිරිමට පක්ෂව ඡන්දය ලබා දී ජනාධිපතිව රකිමින් ජනතාවගේ කරපිට බදු බර පටවන්න එපා යැයි නිවේදන නිකුත් කරමින් පැවසීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන “හුස්ම” වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56 කට රුපියල් ලක්ෂ 1710 ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබා දීම කර ඇති අතර “සක්වල” බස් රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 3890 ක් වැයකර පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50 ක වටිනාකමින් යුත් බස් රථ 80 ක් ලබා දී ඇත. එමෙන්ම, “සක්වල” තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 55 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 517ක් ද වැය කර තිබේ.

මෙම අවස්ථාව සදහා විද්‍යාලයේ විදුහල්පතිනී ආර් යූ පී ඒ රෝහිනී සිල්වා, සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්මියන් සමග පාසලේ ගුරු සිසු දෙමාපියන් රැසක් සහභාගී විය.

https://youtu.be/8reynathoQU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *