ප්‍රවීණ රංගන ශිල්පිණී සනෝජා බිබිලේ මහත්මියගේ ආදරණීය පියාණන් රංගධර සුමිත් බිබිලේ මහතාගේ සිතෙහි ඇතිවූ සංකල්පනාවක කූටප්‍රාප්තිය වූ සිනමා ශිල්පීන් ඇගයීමේ උළෙලක් “සිල්වර් ස්ක්‍රීන් සම්මාන” ලෙසින් ප්‍රථම වරට පසුගිය වසරේ කරලියට පැමිණෙන ලදී.

මෙවර එහි දෙවන සම්මාන උළෙල පසුගියදා (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත්වුනු අතර එහිදී ලාංකීය සිනමාවේ 60 දශකය දික්විජය කරමින් සිනමා කේෂ්ත්‍රයේ විවිධ අංශ වල ප්‍රවීණ ශිල්ප ශිල්පිණියන්ට උපහාර සම්මාන පිදීම සිදු කෙරුණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක, ප්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙනිය, රංගන ශිල්පී හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග යන මහත්වරු ප්‍රමුඛ ආරාධිතයන් රැසක් මේ අවස්ථාව සදහා එක්වූ අතර සිනමාවට ඇල්මක් දක්වන ප්‍රබල ව්‍යාපාරිකයන් රැසක්ද සහභාගී විය.

මෙදින 60 දශකයේ සිනමා ශිල්පීන් අතුරින් සම්මාන උපහාර සදහා නිර්දේශිත වූ විශාල පිරිසක් අතුරින් ප්‍රබුද්ධ හා ස්වාධීන විනිශ්චය මඩුල්ලක් විසින් තෝරාගත් 21 දෙනෙකු සම්මානයට පාත්‍රවූ අතර එයට අමතරව සිනමාව කල මෙහෙය හේතුවෙන් හේමසිරි සෙල්ලප්පෙරුම,සුමින්ද සිරිසේන හා සුනිල් බමුණුආරච්චි මහතා විශේෂ ඇගයීම් සම්මානයට පාත්‍ර විය.

එමෙන්ම, 60 දශකයේ සිනමාවට විශාල සේවයක් කල රූපා ඉන්දුමතී, හේමපාල ධර්මසේන, සිරි කහවල, කේ ඩී දයානන්ද යන සිවු දෙනා ද ඇගයීමට ලකකෙරුනු අතර, මෙරට සිනමාවට අන්තර්ජාතික කීර්තියක් රැගෙන ආ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර ශිල්පීන් ද විශේෂ ඇගයුමකට ලක් කෙරුනි.

ඉතා මනරම් සංගීත හා රැගුම් සංදර්ශන වලින් අලංකාරවත් වූ සම්මාන රාත්‍රිය පැමිණි සැම ඉතාම ප්‍රමෝදවත් අවස්ථාවකට රැගෙන ගිය බව සහභාගීවූ පිරිස් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *