ට්‍රාන්ස්පේරන්සි ඉන්ට්‍රනැෂනල් (transparency international) ආයතනයෙන් ඉතාමත් සුපරික්ෂාකාරී හා සාධාරණ නිර්ණායක ගණනාවක් යටතේ නිරීක්ෂණයන් සිදුකර වාර්ෂිකව තෝරාගනු ලබන සුපිළිපන් රාජ්‍ය නිලධාරීන් අතුරින් අවසන් දස දෙනා අතරට තේරී පත්වූ කේ ජී ගීතානන්ද මහතා එහිදී වසරේ විශිෂ්ඨතමයින් පස් දෙනා අතරට පත් රජයේ නිලධාරි ලෙස සම්මානයට පාත්‍ර වන ලදී.

සමස්ත ශ්‍රී ලංකාවෙන් ම තෝරා ගැනුනු මෙම අවසන් දස දෙනා අතරට ඇතුළත් වූ ගීතානන්ද යනු රාජකාරියත් මනුසත්කමත් සමසමව ගලපාගෙන තම සේවාව මහජනතාව වෙනුවෙන් නිරතුරුවම කැපවීමෙන් ලබාදුන් තවත් එක් රාජ්‍ය සේවකයෙකි.

ගීතානන්ද මහතා පිළිබඳව කතා කිරීමට නම් මීට වසර ගණනාවකට පෙර 2004 දී මෙරට විශාලා මහනුවරක් කල සුනාමි ව්‍යසනයට ගමන් කළ යුතුය. ගීතානන්ද එවකට රාජකාරි කළේ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රියදුරු ලෙසයි.
එසමයේ සුනාමියට හසුවූ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කැබ් රථය තම පුද්ගලික වියදමින් කඩිනමින් අලුත්වැඩියා කර මහජන සේවයට කැපවූ ආදර්ශමත් සේවක මහතෙකි.

එමෙන්ම කොරෝනා වසංගතය රටපුරා පැතිර යද්දී ඔහු සේවය කරන ලද්දේ බටපොල රජයේ රෝහලේ ගිලන් රථ රියදුරු ලෙසය. එම මුල් කාලසීමාවේදී කොරෝනාවට මුහුණ දීමට බොහෝ දෙනා මැලි වෙද්දී බටපොල රජයේ රෝහලේ සේවය කල ගීතානන්ද ඇතුළු සියළුම කාර්ය මංඩලය එම අභියෝගයට නොපැකිළව මුහුණ දුන් අතර, එවකට ඔහු සේවය කළ ගිලන් රථය මගින් කොරෝනා රෝගීන් ප්‍රවාහනය කිරීමට නොපැකිලිව ඉදිරිපත් වූ ගීතානන්ද මහතා පසුගිය දෙසැම්බර් මස අම්බලන්ගොඩ දිසා රෝහලට මාරුවීම් ලැබ යනතෙක්ම තම ගිලන් රථය මගින් සේවය ලබා දී බොහෝ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීීමට දායක විය.
ගීතානන්ද මහතා මෙසේ රාජකාරියට කැපවී කටයුතු කරන්නා සේම ඔහුගේ පුද්ගලික දිවිය තුලත් ආදර්ශවත් පුත්‍ර රත්නයක් ලෙස තම ආදරණීය මෑණියන්ට ඇප උපස්ථාන කිරීමද නොපිරිහෙලා ඉටු කරනු ලබයි. තම 92 හැවිරිදි මෑණියන්ව සියළු සත්කාර කරමින් රැකබලාගනු ලබන්නේද ගීතානන්ද විසිනි.

ගීතානන්ද මහතා මෙවර integrity icon සම්මානයෙන් පුද ලැබීමට ප්‍රථම 2014 වසරේ දක්ෂිණ සුව විරු අභිෂේකයෙන් ද 2018 වසරේ දී ගාලු සිරි අභිෂේකයෙන් ද පිදුම් ලබා තිබුණි.
සරල ගති පැවතුම්වලින් යුක්ත මානුෂවාදී රජයේ සේවකයෙකු වන ගීතානන්ද මහතාට මහතාට තවත් දිගු කලක් මහජන සේවාව නොපිරිහෙලා ඉටු කිරීමට හැකියාව ලැබේවායි අප ද සුභාශිංසනය කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *