ශ්‍රී ලංකා කේටරින් සමාගමට අයත් රුපියල් 330,000 ක මුදලක් වැය කරමින් සිය දේශපාලන පක්ෂ කටයුතුවලට සහභාගී වූ පක්ෂ ආධාරකරුවන් පිරිසකට ආහාර ලබාදීමෙන් රජයට මූල්‍ය අලාභයක් කල බවට වරදකරු කළ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතල වැඩ සහිත වසර 14 ක සිරදඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මොහ‍ොමඩ් මිහායිල් අද (01) නියම කළා.

විත්තිකරුට එරෙහි චෝදනා දෙකකට වසර 07 බැගින් වසර 14 ක සිරදඩුවම එකවර ගෙවී යන ලෙසයි එම නියෝගයේ සදහන් වුණේ.

පළමු චෝදනාවට වසර 7ක බරපතල වැඩ සහිත දඩුවමක් නියම කළ අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළා.

එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බලපතල වැඩ සහිත සිරදඩුවමක් ද අධිකරණයෙන් නියම කළා.

දෙවැනි චෝදනාවට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක්ද එය නොගෙවන්නේ නම් අමතර මාස 06ක සිර දඩුවමක් ද නියම කළා.

චුදිත අල්ලස් පනත යටතේ ගොනුකර තිබූ දූෂණය සහ වරදට පෙළඹවීම යන චෝදනා දෙකටම වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව චුදිත 330,000 ක මුදලක් රජයට පාඩු කර ඇති බවට අධිකරණයෙන් තීන්දු කළා.

අදාල චෝදනාවලට චුදිත අධිකරණය මගින් වරදකරු කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අල්ලස් පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව සිදුකළ දූෂණය නම් වරද සදහා වසර 10කට නොඅඩු සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ හැකි බවයි.

මෙහිදි විත්තිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට දැනුම් දුන්නේ, සිය සේවාදායකයාගේ දරුවන් පිටරට ජීවත්වන බවත්, ඔහුගේ භාර්යාව අසනිපයෙන් පසුවන බවත්ය.

එමෙන්ම ඔහුට ජංගම දුරකතනයවත් බැලිය නොහැකි අයුරින් රෝගී වී ඇති බවත්, මේ කරුණු සියල්ල සලකා බලා දඬුවම ලිහිල් කර දෙන ලෙසත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම චුදිත 2014 වසරේදී සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, ශ්‍රී ලංකා කේටරින් (SriLankan Catering) සමාගමට අයත් රුපියල් 330,000 ක මුදලක් මරවිල ප්‍රදේශයේ පිහිටි ‘ගම්බඩ කේටරර්ස්’ (Gambada Caterers) නමැති පෞද්ගලික ආයතනයකට ගෙවන ලෙස එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට (CEO) බලපෑම් කරමින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මොහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *