ලබන 15 වැනිදා සිට පිටකොටුව ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළේ සීසීටීවී (CCTV) ආවේක්ෂණ හා ආරක්ෂක මෙහෙයුම්වලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉවත් කර, එම පාලන කටයුතු යළි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ආරක්ෂක අංශ වෙත පැවරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව අතිශය විනයගරුක හා පිරිසිදු පරිසරයක් ලෙස පවත්වාගෙන ගිය පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළෙහි ආරක්ෂාව, ගුවන් හමුදාවේ ඉංජිනේරු මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් වජිර සේනාධිර මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය. එහිදී CCTV ආරක්ෂණ පද්ධති භාර ප්‍රධානී බලගණ නායක ඉන්දික වික්‍රමසිංහ ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයන් 38 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අඛණ්ඩව මෙම මෙහෙයුම් පාලනය කෙරිණි.

කෙසේ වෙතත්, මෙම ආරක්ෂක පාලනය යළිත් ලංගම සේවකයින් වෙත ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයත් සමඟ මගී ජනතාව අතර දැඩි කතාබහක් සහ නොසන්සුන්තාවයක් නිර්මාණය වී තිබේ.

මීට පෙර ලංගම පාලනය යටතේ පැවති සමයේ බස් නැවතුම්පොළ පරිශ්‍රය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පික්පොකට්කරුවන්, කප්පම්කරුවන් සහ අසහනකාරයන්ගෙන් පිරුණු, අපවිත්‍ර ස්ථානයක්ව පැවති බවත්, ගුවන් හමුදාව භාරගැනීමෙන් පසුව පමණක් රාත්‍රී කාලයේ පවා කාන්තාවකට හෝ ළමයෙකුට බයක් නැතිව ගමන් කළ හැකි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය වූ බවත් මහජනතාව පෙන්වා දෙති.

“ගුවන් හමුදාවේ කොල්ලෝ ටික මේක මරුවට කරගෙන ගියා. ලංගමේ අය කලින් කුඩ්ඩන් එක්ක පාටි දාලා, කප්පම්කාරයන්ගෙන් සල්ලි අරන් උන්ට ඕනි දේවල් කරන්න දුන්න හැටි අපි දන්නවා. බස් ස්ටෑන්ඩ් එකේ වයර් කෑල්ල පවා ගලවලා විකුණපු අයට ආයෙත් මේක දෙනවා නම් ඒක විශාල වරදක්,” යැයි දිනපතා පිටකොටුව හරහා ගමන් කරන මගියෙකු අදහස් දක්වමින් පැවසීය.

තවත් මගියෙකු සඳහන් කළේ ලංගම ආරක්ෂක අංශ සතුව පවතින උදාසීන බව සහ අක්‍රමිකතා හේතුවෙන් CCTV කැමරා පද්ධති අක්‍රිය කර හොරකම්වලට ඉඩ සැලසීමේ අවදානමක් පවතින බවයි. හමුදාව සතු විනය සහ කැපවීම ලංගම සේවකයින් වෙතින් අපේක්ෂා කළ නොහැකි බවත්, මෙම තීරණය “හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක්” බවත් ජනතාව චෝදනා කරති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *