ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ප්‍රමුඛ කරගනිමින් මෙරට තුළ මඟී ඩ්‍රෝන යානා (Passenger Drone) සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත් රඹුක්වැල්ල මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ.

මෙම සේවාව ලබාදීමට ඉදිරිපත් වී සිටින චීනයේ ප්‍රසිද්ධ ඊ – හැංග් (E – Hang) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී කෝනර් යැං (Mr. Conor Yang) සහ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී ෂියාඕ නා ලී (Ms. Xiao Na Lee) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්වූහ.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු

සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කළ විෂයභාර අමාත්‍යවරයා, මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකට ප්‍රතිලාභ ලබාගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය:

  • සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය: සීගිරිය, පිදුරංගල වැනි උස් පිහිටීම් සහිත ඓතිහාසික ස්ථාන නැරඹීමට, කොළඹ නගරය සහ වරාය නගරය (Port City) ආශ්‍රිතව සංචාරකයන්ගේ ගමනාගමන පහසුකම් සඳහා.
  • ආපදා සහ නාවික සේවා: හදිසි ආපදා කළමනාකරණ කටයුතු සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ නාවික අවශ්‍යතා සපයාගැනීම.
  • ආදර්ශ කලාපයක්: කොළඹ වරාය නගරය (Port City) තුළ මෙම යානා මෙහෙයුම් සිදු කරමින් මුලින්ම ආදර්ශ කලාපයක් (Demonstration Zone) ඇති කිරීම.

නියාමනය සහ ආරක්ෂක පියවර

මෙම මෙහෙයුම් වාණිජ මට්ටමින් ආරම්භ කිරීමට පෙර, මඟීන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම අනිවාර්ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව පහත සඳහන් සියලු කරුණු සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් හා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා බලධාරීන්ගෙන් විධිමත් අනුමැතිය ලබාගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

  • ගුවන් ආරක්ෂාව සහ නියාමන රාමුව
  • ගුවන් මාර්ග පාලනය සහ හදිසි මෙහෙයුම්
  • සයිබර් සහ දත්ත ආරක්ෂාව
  • ගොඩබැස්සවීමේ ස්ථාන (Vertiports) හා සන්නිවේදන අනුමැතීන්

මෙම තාක්ෂණය දුරස්ථ පාලනය සහ සන්නිවේදන පද්ධති මත පදනම් වන බැවින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය අත්‍යවශ්‍ය වේ. මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව, ආයෝජන මණ්ඩලය (BOI), වරාය නගර කොමිසම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සමඟ ද සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට තීරණය විය.

eVTOL තාක්ෂණය සහ ආරක්ෂිත ලක්ෂණ

ඊ-හැංග් (E-Hang) නියෝජිතයින් මෙහිදී eVTOL (electric Vertical Takeoff and Landing) තාක්ෂණය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලදී:

  • ඉඩකඩ සහ ධාරිතාව: සිරස්ව ඉහළට නැගීමට සහ පහළට ගොඩබෑමට හැකි බැවින් වර්ග මීටර් 900කට අඩු කුඩා ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ.
  • යානයේ පද්ධතිය: මඟීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි අතර ප්‍රචාලන පංකා 16ක් සවි කර ඇත. හදිසි අවස්ථාවකදී පංකා 4ක් පමණක් ක්‍රියාත්මක වීමෙන් වුවද යානාව සුරක්ෂිතව ගොඩබෑ හැකිය.
  • පාලනය: AI තාක්ෂණය ඔස්සේ ප්‍රධාන පාලන මැදිරියක සිට ස්වයංක්‍රීයව පාලනය වේ.
  • ආරක්ෂිත පද්ධති: බැටරි කට්ටල 12කින් සහ ගුවන් පාලන පද්ධති 3කින් සමන්විත නිසා යානයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව උපරිමයෙන් පවත්වාගත හැක.

ගමන් ගාස්තු

ඊ-හැංග් සමාගම දක්වා ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කොළඹ නගරයේ පිහිටි හෝටලයක් වෙත මඟියෙකු ප්‍රවාහනය කිරීම සඳහා ඇමරිකන් ඩොලර් 20ත් 30ත් අතර මුදලක් වැයවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *