ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා තමන්ට ලබාදිය හැකි බව පවසා ආයතනයේ නොවන පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් රජයේ වෙබ් අඩවියේ රැඳී සිටින පුද්ගලයින්ගෙන් මුදල් අය කරන බවට ලද තොරතුරක් අනුව විමර්ශන මෙහෙයවා මෙම අත් අඩංගුවට ගැනීම කර තිබෙනවා.

ඉන් පළමු සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර, අනෙක් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 7ක්, ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද තිබී නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් කාර්යාංශයේ නිළධාරීන් ලෙස හැගී යන පරිදි කටයුතු කරමින් රැකියා අපේක්ෂකයින් ආයතනය තුලට කිහිපවරක් රැගෙන යමින් රැකියා අපේක්ෂකයින්ව රවටා ඇති අතර කාර්යාංශය තුලට විවිධ අවශ්‍යතා සදහා ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට නිදහසේ පැමිණීමට ඇති අවස්ථාව උපයෝගී කරගෙන මෙම රංගනය කර ඇති බවත් හෙලිව තිබෙනවා.

මෙම රැකියා ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන අතර කාර්යාංශය මගින් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට, ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම සඳහා අදාල අංශවල සේවය කරන නිළධාරීන්ගෙන් පමණක් සිය සේවාවන් හා තොරතුරු ලබාගන්නා ලෙස හෝ එසේ නොමැති නම් පිළිගැනීමේ කවුළුවේ සිටින නිළධාරීන්ගෙන් සේවය ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

එසේම කොරිඩෝව තුළ හෝ පිටත රැඳී සිටින කිසිඳු පුද්ගලයෙකු සමග ගණුදෙනු කිරීමෙන් වලකින ලෙසත් සියළුම මුදල් ගෙවීම් කාර්යාංශය අනුමත ගෙවීම් පෝරම මගින් අදාල බැංකු හරහා සිදුකරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *