ජාතික ජලසම්පත් හා ජලාපවහන මණ්ඩලය විසින් පිටබැද්දර ප්‍රදේශයේ සිදු කරන ලද කැනීමකදී, ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම භූගත ජල මූලාශ්‍රය අනාවරණය කරගැනීමට සමත් වී තිබේ. පිටබැද්දර පොලිස් ස්ථානයට ආසන්න භූමියක නළ ළිඳක් කැනීමේදී මෙම සුවිශේෂී ජල උල්පත සොයාගෙන ඇත.

ප්‍රදේශයේ පාෂාණ ස්ථර පිලිබඳව විධිමත් භූ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව, නවීන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් භූගත ජලය පවතින නිශ්චිත ස්ථාන හඳුනාගෙන මෙම නළ ළිඳ කැනීම සිදු කල බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජලසම්පත් මණ්ඩලයේ දකුණු පළාත් භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා සඳහන් කළ අතර, මෙම මූලාශ්‍රයෙන් විනාඩියකට ජලය ලීටර් 10,000 ක (ඝන මීටර 10 ක) අඛණ්ඩ ජල ධාරිතාවක් නිපදවෙන බවත් මෙතරම් ඉහළ ජල ඝනත්වයක් සහිත මූලාශ්‍රයක් මෙරටින් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මීට පෙර ශ්‍රී ලංකාවෙන් මෙවැනි විශාලතම ජල මූලාශ්‍රයක් වාර්තා වී තිබුණේ මඩු ප්‍රදේශයෙන් වන අතර, එහි ජල ගලන වේගය සටහන් වූයේ විනාඩියකට ලීටර් 7,000 ක් ලෙසයි.

මෙම ජල ප්‍රභවය සොයාගැනීමත් සමඟ, ජල හිඟයෙන් දැඩි ලෙස පීඩා විඳින පිටබැද්දර, මොරවක සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල ජනතාවට කඩිනමින් පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු සම්පාදනය කරන බව ජාතික ජලසම්පත් හා ජලාපවහන මණ්ඩලය සහ වයඹ පළාත් සභාව සඳහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *