ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඊශ්‍රායලය විසින් අඛණ්ඩව 12 වන දිනටත් අල්-අක්සා පල්ලිය වසා තැබීමට ගෙන ඇති පියවර ඉස්ලාමීය රටවල් අටක දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. කටාර්, ජෝර්දානය, ඉන්දුනීසියාව, තුර්කිය, පකිස්ථානය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම විරෝධය පළ කර ඇති බව විදේශ පුවත් සේවා වාර්තා කර සිටී.
ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකලාපය ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ආගමික ස්ථානවලට ප්‍රවේශ වීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව අමාත්‍යවරු පෙන්වා දෙති. එමනිසාවෙන් අල්-අක්සා පල්ලියේ දොරටු වහාම විවෘත කරන ලෙසත්, පැරණි ජෙරුසලම් නගරයට පනවා ඇති ප්‍රවේශ සීමාවන් ඉවත් කර මුස්ලිම් බැතිමතුන්ට වන්දනා කිරීමට ඉඩ සලසන ලෙසත් ඔවුහු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිති.

අල්-අක්සා පල්ලිය ඇතුළු ජෙරුසලමේ ඉස්ලාමීය සහ ක්‍රිස්තියානි සිද්ධස්ථාන කෙරෙහි ඊශ්‍රායලයට කිසිදු ස්වෛරී බලයක් නොමැති බවත්, එහි සම්පූර්ණ අයිතිය මුස්ලිම්වරුන් සතු බවත් එම නිවේදනයේ අවධාරණය කර ඇති අතර ඊශ්‍රායලයේ මෙම අත්තනෝමතික ක්‍රියා නැවැත්වීමට බල කරන ලෙස එම රටවල් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

පවතින යුදමය වාතාවරණය හමුවේ ආරක්ෂක හේතූන් මත මෙම සීමාවන් පැනවූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇතත්, පලස්තීන විදේශ අමාත්‍යාංශය සහ හමාස් සංවිධානය එය හඳුන්වන්නේ පලස්තීනුවන්ගේ ආගමික නිදහසට එල්ල කළ බරපතල පහරක් ලෙසයි. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ සමීපතම මිතුරන් ලෙස සැලකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව වැනි රටවල් පවා මෙම විරෝධතාවයට එක්වීම කැපී පෙනෙන තත්ත්වයකි.

Muslim worshippers perform Friday prayers on the street near Ras al-Amud Mosque in East Jerusalem, overlooking the Al-Aqsa Mosque and the Dome of the Rock, on March 6, 2026. (OLYMPIA DE MAISMONT / AFP)

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *