Post Views: 105 ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්තම වෙනස සනිටුහන් කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මාර්තු 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නිල වශයෙන් විසුරුවා හැර තිබේ. ඒ අනුව 1969 වසරේ සිට මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඒකාධිකාරය දැරූ මණ්ඩලයේ මෙහෙයුම් නිමාවට පත්වන අතර, එහි සියලු වගකීම් සහ කාර්යභාරයන් අලුතින් පිහිටුවන ලද අනුප්‍රාප්තික සමාගම් 6ක් වෙත පැවරේ. “විදුලි බලයෙන් සසිරිමත් දිවියක්” යන දැක්ම පෙරදැරිව, 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනතින් ලංකා විදුලිබල මණ්ඩලය ස්ථාපනය කළේ 1969 නොවැම්බර් මස 1 වැනිදාය. එතැන් පටන් වසර 55කට අධික කාලයක් මෙරට විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන සමස්ත ක්‍රියාවලියම මෙහෙයවනු ලැබුවේ මෙම මණ්ඩලය මගිනි. කෙසේ වෙතත්, 2020 වසරෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ අධික ණය බරින් පීඩා විඳි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දුන් නිර්දේශ මීට ප්‍රධාන හේතුවක් විය. ඒ අනුව, 2024 අංක 36 දරන නව විදුලිබල පනත ප්‍රකාරව මෙම ඓතිහාසික වෙනස සිදු කර ඇත.විසුරුවා හරින ලද මණ්ඩලය වෙනුවට පිහිටුවා ඇති නව සමාගම් 6න් ප්‍රධාන සමාගම් 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් මේ වන විටත් පත් කර තිබේ. ඒ අනුව,ලංකා විදුලි උත්පාදන ලංකා (පුද්ගලික) සමාගම: ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න මහතා.ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම: ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ මහතා.විදුලි බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගම: ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර මහතා. කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩල සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම සඳහා මෙතෙක් නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කර නොමැති බව වාර්තා වේ. වෘත්තීය සමිති සියල්ලත් අහෝසියි. මෙම ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මණ්ඩලය විසුරුවා හැරීමත් සමඟ ඒ යටතේ ලියාපදිංචි වී තිබූ වෘත්තීය සමිති 40 කට අධික සංඛ්‍යාවක් අහෝසි වී යයි. මේ වන විටත් වෘත්තීය සමිති කිහිපයක් නව සේවා යෝජකයන් (නව සමාගම්) යටතේ නැවත ලියාපදිංචි වීමට පියවර ගනිමින් සිටී. මෙම ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පාරිභෝගිකයාට සහනදායී මිලකට විදුලිය ලබා දීම සහ රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස ආයතනය පවත්වාගෙන යාමයි. මණ්ඩලය සතු වූ දේපළ, ණය සහ සේවක මණ්ඩලය මෙම නව සමාගම් 6 අතර බෙදා වෙන් කිරීමේ කටයුතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමටත් නියමිතව ඇත. Post navigation පොහොට්ටුවේ මෙවර මැයි පෙළපාලිය ගැන අද ගත්ත අළුත්ම තීන්දුව මෙන්න. කොළඹ මහනගර සභාවේ සේවක හිඟය විසඳීමට රජයේ විශේෂ අවධානය