ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ අභාවයෙන් පසු, එරට මීළඟ පාලකයා ලෙස ඔහුගේ පුත් මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) නම් කර ඇති බව ඉරාන බලධාරීන් නිල වශයෙන් නිවේදනය කළේය.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අලි ඛමේනි මියගිය අතර, ඉන් අනතුරුව උද්ගත වූ දැඩි යුදකාමී වාතාවරණය මධ්‍යයේ ඉරානයේ ප්‍රබල ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) විසින් මෙම තීරණය ගෙන තිබේ. 56 හැවිරිදි මොජ්ටාබා ඛමේනි, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ ඉතා සමීප සබඳතා පවත්වන දැඩි මතධාරී පූජකවරයෙකු ලෙස ප්‍රකටය.

මෙම නායකත්ව වෙනස සිදුවන්නේ මැදපෙරදිග කලාපය පුරා දරුණු යුද ගැටුම් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමකය. ඉරානය විසින් සිය අසල්වැසි රාජ්‍යයන්හි තෙල් සහ ජල පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත. කටාර් රාජ්‍යය ස්වාභාවික වායු නිෂ්පාදනය අත්හිටුවීම නිසා ගෝලීය බලශක්ති අර්බුදයක් ද මේ වන විට නිර්මාණය වෙමින් පවතී.

මොජ්ටාබාගේ පත්වීම සම්බන්ධයෙන් ඉරානය තුළ යම් දේශපාලන නොසන්සුන්තාවයක් ද හටගෙන ඇති බව වාර්තා වේ. පාරම්පරික උරුමය මත පදනම්ව උත්තරීතර නායකත්වය ලබාදීම 1979 ඉස්ලාමීය විප්ලවයේ මූලධර්මවලට පටහැනි බවට ඇතැම් පිරිස් චෝදනා කරති. කෙසේ වෙතත්, දැනට පවතින යුද තත්ත්වය හමුවේ දැඩි තීරණ ගත හැකි නායකයෙකු ලෙස මොජ්ටාබා කෙරෙහි පූජක මණ්ඩලයේ විශ්වාසය පළ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මොජ්ටාබා ඛමේනි නායකත්වයට පත්වීම තමන්ට කිසිසේත් පිළිගත නොහැකි බවයි. “ඛමේනිගේ පුත්‍රයා මට පිළිගත නොහැකියි. අපට අවශ්‍ය වන්නේ ඉරානයට සාමය සහ සහජීවනය ගෙනෙන නායකයෙක්,” යැයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නව නායකයා වෙත සිය පූර්ණ සහයෝගය පළ කර තිබේ. ඉරාන ආරක්ෂක නිලධාරී අලි ලාරිජානි සඳහන් කළේ මොජ්ටාබා සිය පියා යටතේ මනා පුහුණුවක් ලබා ඇති බැවින් පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට ඔහුට හැකියාව ඇති බවයි.

1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි එම පවුලේ දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ. ටෙහෙරානයේ ආගමික පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ඇති හෙතෙම අවුරුදු 17 දී ඉරාන – ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේද සේවය කර තිබෙන බවත් ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *