පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය. පනත් කෙටුම්පත කථානායකවරයා විසින් සහතික කිරීමත් සිදු කරයි.

අද පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වූ මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154 ක් ද විපක්ෂව ඡන්ද 2 ක් ද හිමිවිය. එම අවස්ථාවේදී අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, අද දිනයේ සිට, මන්ත්‍රී විශ්‍රාම වැටුප මීට පෙර ලබාගත් අයට සහ වත්මන් පාර්ලිමේන්තුව ද ඇතුළුව මින් ඉදිරියට පත් වන කිසිදු මන්ත්‍රීවරයකුට ලබා ගැනීමට නොහැකි වන බව සඳහන් කල අතර, 2025 ජනවාරි මාසයේදී විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා ගෙවා ඇති මුළු මුදල රුපියල් තුන් කෝටි හතළිස් හතර ලක්ෂයක් බවත් පැවසීය.

අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සඳහා සංශෝධන ඉදිරිපත් කළහ. ඒවා නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් දැනුම් දුන් අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් සිය සශෝධනයට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනයකින් තොරව සම්මත කිරීම සඳහා ඡන්ද 152 ක්ද ද යෝජිත සංශෝධනය කිරීම සඳහා පක්ෂව 4 ක් ද හිමිවිය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය සඳහා ද සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර එය නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් දැනුම් දෙන ලදී. ඉන්පසු පනත්කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත කෙරිණි.
මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 ජනවාරි මස 07 වන දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

සම්මත කෙරුණු මෙම පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය ද අද හිමිවිය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇත.
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම මෙම පනත මගින් සිදුවේ. ඒ අනුව පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භවන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබී‍ම නතර‍වීම සිදුවේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *