ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ කමිටු සභාපති වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ගෝල් ඩි හෝල් ශාලාවේදී අද (12) පැවැත්වුනි.

සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ප්‍රධාන මාතෘකාව ලෙස ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය සාකච්ඡාවට ගනු ලැබුවේය. විෂයභාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රථමයෙන් යෝජිත වරාය සංවර්ධන ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් කරන ලදී. වරාය සංවර්ධන ව්‍යාපෘතියේදී ප්‍රධාන ඉලක්කයක් වන්නේ සමුද්‍රීය ආර්ථිකයක විභවයක් මුල්කරගෙන වුවත් ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතියේදී සංචාරක ගමන් මාර්ගයක් ලෙස එය සකස් වී ඇති බව හෙතෙම පැවසීය.

ගාල්ල ප්‍රදේශය හා බැඳී තිබෙන සංචාරක ව්‍යාපාරය ද උසස් තලයකට ගෙන ඒමත් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර ගාලු වරායට යාබදව ඇති ධීවර වරායේද යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් මෙම ව්‍යාපෘතියෙන් යෝජනා වී තිබේ. නගරයේ ඇති පුරාවිද්‍යා වටිනාකම් ඇති ප්‍රදේශ සහ ඒ ආශ්‍රිතව ඇති අනෙකුත් ස්ථාන සංචාරක ආකර්ෂණයන් ඇතිවන පරිදි සංවර්ධනය කිරීමටත් මෙයි සැලසුම් වී තිබේ. මෙම වරාය සංවර්ධන ව්‍යාපෘතිය සමඟ සෘජුව ආදායම් ලැබෙන අතර වක්‍ර ලෙස ආදායම් මාර්ග රාශියක් උත්පාදනය වන හෙයින් එමගින් ප්‍රදේශයේ ජනතාවගේ ආදයම් මාර්ග ඉහල නැංවේ.

මෙම වරාය සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේදී ඇතිවන ගැටළු සහ අගතියට පත්වන පාර්ශ්ව සමඟ ඉදිරියේදී සාකච්ඡා කෙරෙන නිසා ඒවාට අදාළව විකල්ප යෝජනා ද කමිටුව හරහා ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම ගැන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ ඝණක හේමචන්ද්‍ර මහතාද කරුණු පැහැදිලි කළේය. මෙහිදී වරාය කටයුතු සඳහා දියකඩනයක් ඉදිකිරීමට යෝජිත වී තිබෙන බවත්, එය ධීවර වරායටත් පහසුවක් වන බව ද වරාය ආශ්‍රිත නාගරික කලාපයක් ඉදිකෙරෙන බව ද අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කර සිටියේය. සංචාරකයින්ගේ පහසුව පිණිස මඟී ජැටියක් ඉදිවන අතර, ඒ ආශ්‍රිත රේගු ආගමන විගමන පහසුකම් ද වැඩිදියණු කිරීම ව්‍යාපෘතියට ඇතුළත් සියලුම පහසුකම් සහිත වෙරළ තීරයක්ද ඉදිකිරීම සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත්ව තිබෙන බවත් ඔහු පැවසීය.

මෙම කමිටු රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා ගාල්ල නව නගර සැලැස්ම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දැක්වූ අතර අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා, අදහස් ඉදිරිපත් කරන ලෙස ද රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම සාකච්ඡාවට වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල, ධීවර සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කොප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ.චන්‍ද්‍රලාල් ,ශ්‍රී ලංකා‍ වරාය අධිකාරියේ සභාපති සහ කළමණාකරණ අධ්‍යක්‍ෂවරයා ඇතුළුව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු නියෝජනය කරන සියලු රාජ්‍ය ආයතන නියෝජිතයින් සහභාගීවී සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *