හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් අද (11) මරණ දඬුවම නියම කරන ලදී.

2022 වසරේ මැයි 9 වනදා සිදුවූ අරගලයේදී එවකට පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී ජයන්ත ගුණවර්ධන යන අය නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කර තිබුනි. මේ සම්බන්ධයෙන් 41 දෙනෙකුට චෝදනා එල්ල වුනු අතර ඉන් 37 දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී නඩු පවරා තිබුණා. ඉතිරි 4 දෙනාගෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර අනෙක් දෙදෙනා මේ දක්වා අධිකරණය මගහරිමින් සිටිනවා.

වසර තුනකට ආසන්න කාලයක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 14 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුනු නමුත් ලිඛිත දේශන අධ්‍යයනය කිරීමට කාලය ප්‍රමාණවත් නොවූ නිසා තීන්දුව ලබාදීම අද (11) දිනය දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරුන් තීරණය කළා. ඒ අනුව අද බෙදුනු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්කල නඩු තීන්දුවට අනුව, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාරගේ තීන්දුව වූයේ, විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට ය. සෙසු විනිසුරුවරුන් වූ රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල විසින් විත්තිකරුවන් 41 දෙනාගෙන් 16 දෙනෙකු වැරදිකරුවන් කල අතර ඉන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.

ඉතිරි 4 දෙනාට මාස 6 සිර දඬුවමක් පනවා එය වසර 5කට අත්හිටුවූ අතර ඉතිරි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට සාමාජික විනිසුරුවරුන් දෙදෙනා තීන්දු කළහ. ඊට අමතරව, ඝාතනයට ලක්වූ හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ වෙනුවෙන් සහ පොලිස් නිලධාරියා වෙනුවෙන් රු. 50,000 බැගින් වන්දි ගෙවන ලෙස අත්හිටවූ සිර දඬුවම් ලැබූ වරදකරුවන්ට නියම කෙරිණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *