ලෝකයම කම්පනයට පත් කළ ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) නාමය නැවතත් ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. “එප්ස්ටීන් ලිපිගොනු” ලෙස හැඳින්වෙන මෙම ලේඛන හා අධිකරණ වාර්තා, නිසා බලවත් පුද්ගලයන් රැසක් ලිංගික අපයෝජන සඳහා සම්බන්ධ වූ බවට වන චෝදනා හේතුවෙන් විශාල මහජන අවධානයක් දිනා ඇත.

ජෙෆ්රි එප්ස්ටීන්, ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස හැඳින්වූවත්, බාල වයස්කාරිකයින්ට එරෙහි ලිංගික අපයෝජන සහ මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් ගොනු වූ චෝදනා හේතුවෙන් 2019 වසරේදී අත්අඩංගුවට ගනු ලැබීය. එමෙන්ම බන්ධනාගාර ගතව සිටියදී සිදුවූ ඔහුගේ හදිසි මරණයත් සමඟ මෙම සිද්ධිය වටා තවදුරටත් සැක සහ කුතුහලය වැඩි විය.

“එප්ස්ටීන් ලිපිගොනු” තුළ, ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සඳහන් ප්‍රසිද්ධ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ අනෙකුත් බලවත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි අතර මෙම සිද්ධියට අදාළ අධිකරණ ක්‍රියාවලියන් සහ නව හෙළිදරව්වන් පිළිබඳව ලෝකයම දැඩි අවධානයෙන් බලා සිටින තත්වයක් ඇතිව තිබේ. ඉදිරියේදී මෙම සිදුවීම් වලට සම්බන්ධ තවත් තොරතුරු අනාවරණය වීමට ඉඩ ඇති බව විචාරකයින් පවසති.

ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇති පරිදි, හිටපු අමෙරිකානු ජනාධිපතිවරුන් කිහිපදෙනෙකුගේ නම්, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකුගේ නාමය, මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයන් සහ විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රබලයින්ගේ නම් මෙම ලේඛනවල සඳහන් වී ඇති බවට සඳහන් වුවත්, මෙම නාම සඳහන් වීම සමාජ හමුවීම්, ගුවන් ගමන් හෝ හඳුනාගැනීම් සම්බන්ධයෙන් පමණක් බවත්, සෘජු අපරාධ චෝදනා එල්ල කල නොහැකි බවත් පැහැදිලි කර ඇත. එමෙන්ම, නම් සඳහන් වූ පුද්ගලයන්ගෙන් කිහිපදෙනෙක් මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, තමන් කිසිදු නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවූ බවත් මේ වනවිටත් ප්‍රකාශ කර ඇත.

එප්ස්ටීන්ගේ සමීපතම සහකාරිය ලෙස හැඳින්වෙන ගිස්ලේන් මැක්ස්වෙල්ට එරෙහිව ලබා දුන් අධිකරණ තීන්දුවෙන් පසු, මෙම ජාලය කෙසේ ක්‍රියාත්මක වූද යන්න පිළිබඳ නව කරුණු තවත් අනාවරණය විය. එම අනාවරණ වින්දිතයන් සඳහා යුක්තිය ඉටු කිරීමේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස සැලකිය හැක.

මේ අතර, බලවත් පුද්ගලයන් නීතියට ඉහළද ? යන ප්‍රශ්නය නැවතත් ජාත්‍යන්තර සංවාදයකට ලක්ව ඇති අතර, ජාත්‍යන්තර අධිකරණ පද්ධතියේ විනිවිදභාවය සහ වගකීම පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇත. ඉදිරියේදී තවත් ලේඛන හෝ සාක්ෂි හෙළිදරව් වුවහොත්, මෙම සිද්ධිය ලෝක දේශපාලනය සහ සමාජය තුළ තවත් දැඩි කම්පනයක් ඇති කිරීමට ඉඩ ඇති බවත් විචාරකයින් පෙන්වා දෙති.

මේ අතර, අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (U.S. Department of Justice) විසින් නීතිමය නියමයන් යටතේ ප්‍රසිද්ධ කර ඇති අලුත් “එප්ස්ටීන් ලිපිගොනු” තුළ ශ්‍රී ලංකා නාමය 188 වතාවක් සඳහන් වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත. ජෙෆ්රි එප්ස්ටීන් සම්බන්ධ අධිකරණ ලේඛන (“එප්ස්ටීන් ලිපිගොනු”) තුළ “ශ්‍රී ලංකා” නාමය සඳහන් වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ අනුමාන සහ රාවයන් පැතිර ගියද, ඒ පිළිබඳ නීතිමය හා වාර්තාත්මක පැහැදිලි කිරීමක් නොමැතිව කිසිදු සම්බන්ධයක් හෙළිදරව් නොවන බවත් විශ්ලේෂකයින් පෙන්වා දෙති.

ප්‍රසිද්ධ කර ඇති අධිකරණ ලේඛන විශ්ලේෂණය කළ විට, “ශ්‍රී ලංකා” නාමය කිහිප වතාවක් සඳහන් වන්නේ ඊ-මේල් හුවමාරු, සම්බන්ධතා සටහන්, හෝ ගුවන් ගමන් විස්තර වැනි පසුබිම් කරුණු ලෙස බවට මාධ්‍ය වාර්තා කරයි. මෙම සඳහන් වීමෙන් ශ්‍රී ලංකාව හෝ ශ්‍රී ලාංකික පුද්ගලයන් කිසිදු අපරාධයකට සෘජුව සම්බන්ධ වූ බවක් සනාථ නොවන බව නීති විශේෂඥයින් අවධාරණය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *