රජයේ විගණකාධිපති වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති වශයෙන් කටයුතු කළ සමුදිකා ජයරත්න මහත්මියගේ නම අනුමත කිරීමට අද (03) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර එවන ලද සමුදිකා ජයරත්නගේ නම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කළ බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වැනි වගන්තිය යටතේ ඇති පත්වීම් ක්‍රියාවලිය අනුව, රජයේ විගණකාධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නාම යෝජනා ලබාදීම සිදුකිරීමෙන් පසු ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් අදාල පත්වීම ලබාදීමට නීතී ප්‍රතිපාදන තිබීම නිසා පෙර විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න විශ්‍රාම ගැනීමෙන් පසු විගණකාධිපති ධුරය 2025 අප්‍රේල් මාසයේ සිට හිස්ව පැවතුනි.

ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද අපේක්ෂකයන් කිහිප දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වරින් වර ප්‍රතික්ෂේප කර තිබිණි. මීට පෙර සිටි සිවිල් සමාජ නියෝජිතයන් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවස්ථා කිහිපයකදීම රැස්වූ අතර එහිදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ නිසා ජනාධිපතිවරයා මීට පෙර එවන ලද නම්වලට අනුමැතිය ලබාදීමට ව්‍යවස්ථා සභාවට නොහැකි විය. කෙසේ වෙතත් අළුතින් පත්වූ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සමන්විත නව ව්‍යවස්ථා සභාව මෙවර අදාල නාමයෝජනාව අනුමත කිරීම නිසා මාස 09 කට අධික කාලයක් පුරා පැවති මෙම ගැටළුවට විසඳුමක් ලැබී ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුල විගණකාධිපති ධූරයට පත්වන පළමු කාන්තා නිළධාරිණිය ලෙස වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපති ලෙස පත්වන සමුදිකා ජයරත්න මහත්මිය විගණන කාර්යාලයේ දශක දෙකකට වැඩි සේවාකාලයක් සහිත ජ්‍යෙෂ්ඨ විගණන වෘත්තිකයෙක් වන අතරම දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ලෙස සේවය කරයි.

කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති සමුදිකා ජයරත්න මහත්මිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය සහ ගණකාධිකරණය පිළිබඳ B.Com (විශේෂ) උපාධිය ලබා ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *