ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න පත් කිරීමට අගමැති හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟතාවකට පැමිණ ඇත.

ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සිවිල් සමාජ සාමාජිකයන් වන වෛද්‍ය අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ මහාචාර්ය දිනේෂා සමරරත්න යන සාමාජිකයන්ගේ නිල කාලය ඉකුත් 16 වැනිදා අවසන් වූ අතර, නව පත්වීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර පැවති සාකච්ඡාවලින් පසුව නව සාමාජිකයන් සදහා එකඟතාවය පලකර ඇත.

ඒ අනුව, නව ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස යෝජනා වූ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, දැනට ‍කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ රාජ්‍ය නීතිය හා අන්තර්ජාතික නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන අතර, ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක් වන මානව හිමිකම් අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ද වේ.

ඔස්ටින් ප්‍රනාන්දු මහතා, 1942 ජුනි 12 දින ඉපිද, හික්කඩුව සිංහල පාසැලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා, පශ්චාත් අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ලදුව 1960 ජූලි මස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. අනතුරුව උපාධිධාරියෙකු ලෙස 1963 මැයි මස ගුරු වෘත්තියට ඇතුළත්වූ හෙතෙම 1967 ඔක්තෝබර මසදී පරිපාලන සේවයට ඇතුලත් විය. පරිපාලන සේවයේ ඉහලම තනතුරු වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති ලේකම් ධුරයත් ඇතුළුව රාජ්‍ය සේවයේ උසස් වගකීම් රැසක් සහ පෞද්ගලික සහ අන්තර්ජාතික ආයතනවල වගකීම් රැසක් දැරූ කෘතහස්ත පරිපාලන නිලධාරියෙකි.

රංජිත් ආරියරත්න මහතා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු ලෙස අමාත්‍යාංශ රැසක ලේකම් ධුරය දරා ඇතී රාජ්‍ය නිලධාරියෙක් වන අතර, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සහ තැපැල්පතිවරයා ලෙසත් කටයුතු කර ඇති කෘතහස්ත පරිපාලන නිලධාරියෙකි.

නව සමාජිකයන්ගේ පත්කිරීමත් සමඟ මෙතෙක් දිනක් ප්‍රමාදව පැවති විගණකාධිපති ධූරයට සුදුස්සෙකු පත් කිරීමද කඩිනමින් සිදුවනු ඇති බවට රාජ්‍ය අංශයේ කතාබහට ලක් වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *