නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් තැබීමට කැබිනට් මංඩලයේ අනුමැතිය ලද බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

රජය විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ විෂය මලා වෙනස් කිරීම වසරකින් කල් දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අඟහරුවාදා (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. කෙසේ වෙතත්, සෙසු ප්‍රතිසංස්කරණ එලෙස ම ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කරන ලදී.

මේ සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා, වත්මන් රජය බලයට පැමිණීමට පෙර සිට ම මැතිවරණ වේදිකාවලදී පවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහන් කලා ඒ අනුව ජනතාව, පැවති මැතිවරණ ද්විත්වයේදී ම මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් ආණ්ඩුව වෙත පැහැදිලි ජනවරමක් ලබා දුන්නා. ඒ නිසා ආණ්ඩුවට ලැබී තිබෙන ජනවරමත් සමාජයේ අවශ්‍යතාවත් අනුව සිදුකළ යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාමත් දූරදර්ශීව සහ නිර්භීතව සිදු කිරීම වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරනවා, යැයි පැවසීය.

“මේ වන විට 6 වන ශ්‍රේණියේ විශේෂයෙන් ඉංග්‍රීසි මොඩියුලයේ තියෙන සමහර දේවල් සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සමාජයේ යම් ව්‍යාකූලත්වයක් පැන නැගිලා තියෙන බව අපි දන්නවා. සමහර කෙනෙක් මේක දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා. සමහර කෙනෙක් මේක නඩුවලින් බේරෙන්න පාවිච්චි කරනවා. සමහර කෙනෙක් තමන්ට අහිමි වුණු බලය ලබා ගැනීමේ මාවතක් ලෙසට මේ ව්‍යාකූලත්වය භාවිත කරන්න අර අදින බව පෙනෙනවා, එම නිසා අවම අවිශ්වාසයක් හෝ තබාගෙන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම නොකල යුතු බව රජය පැහැදිලිව විශ්වාස කරන බවත් ඊට අදාළ වෙනස්කම් කළ යුතුයි යන්න රජය පිළිගන්නා බවත්, කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කරන ලදි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් දැනට ආරම්භ කර ඇති කුළුණු 5 කින් යුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ පළවෙනි ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ වෙනස් කිරීමකින් තොරව ඉදිරියට ගෙන යාමටත් 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය 2027 වසරේදී ආරම්භ කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *