ඇමරිකානූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝග මත ඩෙල්ටා ෆෝස් බලකායේ සෙබළුන් විසින් අත් අඩංගුවට ගෙන ඇමරිකාවට රැගෙන ආ වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සීලියා ෆ්ලෝරස්, අද (05) අමෙරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව වාර්තා වේ.

මදුරෝ ජනාධිපතිවරයා වෙනිසියුලානුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් දූෂිත, නීති විරෝධී රජයක් පවත්වාගෙන යන බවත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ටොන් දහස් ගණනක්, අමෙරිකාවට ප්‍රවාහනය කිරීම සඳහා දරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ත්‍රස්තවාදීන් සමඟ, එක්ව කටයුතු කර ඇති බවත් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සිය චෝදනා පත්‍රය මගින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, අදාල නඩු විභාගය මෑන්හැටන් දිස්ත්‍රික් අධිකරණ විනිසුරු ඇල්වින් හෙලර්-ස්ටයින් විසින් සිදුකිරීමට නියමිත අතර මෙරට වේලාවෙන් අද රාත්‍රී 10.30 ට පමණ මෙම අධිකරණය කටයුතු ආරම්භ වනු ඇති.

වෙනිසියුලාවේ හමුදා ආක්‍රමණයක් සිදුකිරීමෙන් පසුව අමෙරිකානු හමුදාව මගින් රැගෙන ගිය වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිය මේ වන විට නිව්යෝක් අගනුවර බෲක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගෙන ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ඇමරිකාව සිදුකල මෙම අතිශය නීතී විරෝධි කටයුත්ත ලොව පුරා රටවල් ගණනාවක දෝශ දර්ශනයට ලක්ව ඇති අතර මෙය රටක් ස්වාධීනත්වයට බාධා එල්ල කරන ඉතාම වැරදි පූර්වාදර්ශයක් බවත් ඔවුන් සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් චීන ජනාධිපති ෂී ජිං පින් අවධාරණය කරන්නේ, රඳවා ගෙන සිටින වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ බිරිය වහා ම නිදහස් කරන ලෙසයි.

මේ අතර, හදිසි ප්‍රහාරයක් එල්ල කරමින් මෙසේ වෙනිසියුලාව ආක්‍රමණය කර එහි රාජ්‍ය නායකයා සහ බිරිය පැහැර ගෙන යෑමෙන් උද්ගතව ඇති තත්ත්වය විමසීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (5) අමෙරිකානු වේලාවෙන් පෙ.ව. 10:00 ට නිව්යෝක් නුවරදී රැස්වීමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීති නොසලකා අමෙරිකාව සිදු කළ ප්‍රහාරය භයානක පූර්වාදර්ශයක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවා අවධාරණය කර තිබේ.

වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට ඇමරිකාව ගත් මෙම පියවර පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය පමණක්ම නොවන බව ප්‍රකට රහසකි. වෙනිසියුලාව යනු ස්වභාවික සම්පත් බහුල රටක් වන අතර ලොව විශාලතම බොරතෙල් නිධිය හිමි රට වන්නේ ද වෙනිසියුලාවයි. සංඛ්‍යා දත්ත අනුව එම සංචිතයේ තෙල් බැරල් බිලියන 303 ක් පමණ පවතින බව සඳහන් වේ. මෙම ආක්‍රමණය වෙනිසුලාවේ ස්වභාවික සම්පත් සමගද බැදී ඇති බවයි විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ.

කෙසේ වෙතත් වෙනිසියුලාව වර්තමානයේදී දිනකට අපනයනය කරන බැරල් ප්‍රමාණය ලක්ෂ නවයක් තරම් අඩු ප්‍රමාණයක් වන අතර වෙනිසියුලාව බොරතෙල් අපනයනය අතින් රැඳී සිටින්නේ ලොව පස්වැනි ස්ථානයේය. චීනය ඔවුන්ගේ ප්‍රධානතම තෙල් ගැනුම්කරුවා වන අතර බොරතෙල් සහ ආශ්‍රිත නිෂ්පාදන වලට අමතරව වෙනිසියුලාව ස්වභාවික වායු, වානේ සහ ඇලුමිනියම් සංචිත වලින් ද සමන්විත රටකි.

මේ අතර, වෙනිසියුලානු ජනපති නොමැති නිසා එරට ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය නායක බලතල උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් වෙත පවරා ඇත. සිය රටට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරය ඉතා බරපතළ හමුදා ආක්‍රමණයක් ලෙස වෙනිසියුලානු රජය හෙළා දැක තිබෙන නමුත් සමහර රට වැසියන් මේ තත්වය පිළිබඳව සිය සතුට පල කරනු දක්නට ලැබිනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *