Post Views: 427 ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ (Perinatal Society of Sri Lanka) 25 වන සභාපතිවරිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත් කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවය අද (02) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් (The Grand Maitland) හෝටලයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. “පැවැත්මෙන් ඔබ්බට: දියුණු මාතෘ හා නවජ සත්කාර සමඟ සමෘද්ධිමත් වීම” “Beyond Survival: Thriving with Advanced Maternal and Neonatal Care” යන්න තේමා කර ගනිමින් මෙම උත්සව අවස්ථාව පැවැත්විණි. රට පුරා මාතෘ හා ප්‍රසව සත්කාර ප්‍රමිතීන් තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, මව්වරුන්ගේ සහ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය සහ අනාගත පරම්පරාවන් සඳහා ඔරොත්තු දෙන සහ සාධාරණ සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ කැපවීමේහි ඇති වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි. පරිණාමය වෙමින් පවතින සෞඛ්‍ය සේවාව තුළ අභියෝග මධ්‍යයේ වුවද, මාතෘ සහ ප්‍රසව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමය සිදුකරන සාමූහික කැපවීම ඉතා උපකාරී වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව සභාපතිවරයෙකු යටතේ අනාගත අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයට අවස්ථාව ලැබී ඇති බව ද සදහන් කරන ලදි. මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය පසුගිය කාලය තුළ රට මුහුණ දුන් වසංගත තත්ත්වයන්, හදිසි ආපදා තත්ත්වයන් මෙන්ම ආර්ථික තත්ත්වයන් හමුවේ ද මෙරට ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කළ බවත් අවදානම් තත්ත්වයෙන් පසු ද සෞඛ්‍ය සේවාවේ සංකීර්ණ අභියෝගවලට මුහුණ දෙන මොහොතක, ප්‍රසව හා නාරිවේද සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ කාර්යභාරය කවරදාටත් වඩා තීරණාත්මකව පවතින බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමය වසර ගණනාවක් පුරා, උපදේශනය, අධ්‍යාපනය, පර්යේෂණ සහ සාක්ෂි මත පදනම් වූ සායනික පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් ප්‍රසව හා නාරිවේද සත්කාර සේවා ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ හිටපු සභාපති වෛද්‍ය හරේන්ද්‍ර දිසානායක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) ඇතුළු ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ සාමාජික වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ. Post navigation කොළඹ ගුවන් හමුදා රෝහලෙන් වලපනේ සහ මඩුල්ල සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා වෛද්‍ය සායනයක්. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තැබූ වාර්තාව.