වර්තමානයේ මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය වනුයේ පාසැල් අධ්‍යාපනය හදාරණ වයසේ සියළු සිසු දරුවන්ට 13 වසරක අඛන්ඩ අධ්‍යාපනය සහතික කිරීමයි. ඒ සදහා විවිධ වූ ක්‍රියාමාර්ග සකස්කරමින් අපොස සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට පවා උසස් පෙළට වෘත්තීය විෂ්‍යයන් හදාරා හෝ සිය අනාගත වෘත්තීය මාර්ගය සකස්කර ගැනීමට ක්‍රමවේද සලසා ඇත.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එසේ වුවත් සමහර පාසල් වල විදුහල්පතිවරු සිය අභිමතය මත කටයුතු කරමින් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලද සිසුන්ට පවා සිය කැමැත්ත මත උසස් පෙළ විෂ්‍යයන් තෝරා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබානොදී බලහත්කාරීව වෙනත් විෂ්‍යයන් හැදෑරීමට යොමුකරන තත්වයක් විවිධ පාසල් වලින් වාර්තා වෙමින් පවතී.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලක් වන ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ මෙවර අපොස සාපෙළ ප්‍රතිපල මත උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලද සිසුන් විශාල පිරිසකට කලා සහ වාණිජ්‍ය විෂය ධාරාව යටතේ තමන්ගේ හැකියාව සහ කැමැත්ත මත තෝරාගත් විෂ්‍යයන් හැදෑරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් පාසැලෙන් නියම කරන විෂ්‍යයන් පමණක් හැදෑරිය යුතු බවටත් විදුහල්පතිනිය නියෝගයක් නිකුත්කර ඇති බව දෙමාපියන් සඳහන් කර සිටී.

සාමාන්‍යයෙන් අපොස සාමාන්‍ය පෙළ සියළු විෂ්‍යයන් සමත් වූ දරුවෙකුට උසස් පෙළ හැදෑරීමට හැකි අතර විද්‍යා සහ ගණිත විෂ්‍යය ධාරාවන් හැදෑරීමේදී යම් සීමාවන් පවතින නමුත් වාණිජ්‍ය සහ කලා විෂය ධාරාවන් වලදී එම තත්වය බොහෝ ලිහිල් කර ඇත්තේ සිසුන්ගේ අධ්‍යාපන අයිතිය වඩාත් තහවුරු කරලීම සදහා වේ. එසේ නමුත් මෙම පාසලේ විදුහල්පතිනිය සිසුන්ගේ එකී මූලික අයිතිවාසිකම පවා උල්ලංඝනය කර ඇති බව වාර්තා වේ.

උදාහරණයක් ලෙස සාමාන්‍ය පෙළ භාෂාව සහ ගණිතය සමග සියළු විෂයයන් සමත් වූ දරුවෙකු උසස් පෙළ කලා විෂ්‍යය ධාරාවේ ඇති විෂ්‍යය කාන්ඩ වලින් සිය කැමැත්ත මත විෂ්‍යයන් තුනක් තෝරා ගත්තද එය විදුහල්පතිගේ අභිමතය පරිදි වෙනස් කර පාසලෙන් නියම කරන විෂ්‍යයන් තුනක් හැදෑරීමට මෙවර උසස් පෙළට ඇතුලත් වීමට සිටින දරුවන්ට සිදුව ඇති බව දෙමාපියන් සඳහන් කර ඇත.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මත සෑම දරුවෙකුම 13 වසරක අධ්‍යාපනය ලබා ගැනීම අනිවාර්ය බව ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල නමුත් එයට හාත්පසින්ම වෙනස් ආකාරයට නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ විදුහල්පතිනිය කටයුතු කරනුයේ කුමක් නිසාද යන්න දෙමාපියන් විමසා සිටී.

මේ තත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමුකර නිසි ක්‍රියාමාර්ග ගෙන සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂාකරදීම අධ්‍යාපන බළධාරීන්ගේ සහ දේශපාලන අධිකාරීයේ වගකීමක් බවත් දෙමාපියන් සඳහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *