දූෂණ, අපචාර හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් විශාල වශයෙන් වාර්තා වන අසැල්වැසි ඉංදියාවේ මෑතකදී ඇතිවූ තවත් ආන්දෝලනාත්මක පුවතක් තමයි, කල්කටා නීති විද්‍යාලයේ සිසුවියක් සමූහ දූෂණයට ලක්වීම. මේ සිදුවීම වෙන්නෙ මීට සති 2 කට කලින්. 2025 ජූනි 25 වැනිදා. දකුණු කල්කටා නීති විද්‍යාල පරිශ්‍රයේදි.

වයස අවුරුදු 24 ක් වූ මේ වින්දිත නීති සිසුවිය විභාගයක් සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර ලබාදෙන්න තමයි එදින නීති විද්‍යාලයට ගිහින් තියෙන්නෙ. ඇය අදාල කටයුතු අවසන් වනතෙක් නීති විද්‍යාල පරිශ්‍රය තුළ රැඳී සිටිනවා. පසුව මේ සිසුවිය අදාල නීති විද්‍යාලයේ ම මුර කුටිය තුළදී සමූහ දූෂණයට ලක්වෙනවා.

මේ සිදුවීමට සැකපිට අත් අඩංගුවට පත් වෙන්නේ ඇය අධ්‍යාපනය ලබන නීති විද්‍යාලයේ ම සිසුන් තිදෙනෙක් (වත්මන් සිසුන් 2ක්, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කරන හිටපු සිසුවෙක්) සහ නීති විද්‍යාලයේ ම ආරක්ෂක නිළධාරියෙක්. පසුව ආලිපූර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරුවේ මේ 4 දෙනා දින 14 ක් රඳවා තබාගන්නා ලෙසයි.

ඒ අනුව මේ සැකකරුවන් 4 දෙනාට එරෙහිව වැරදි කිහිපයක් යටතේ නඩු පැවරුනා. ඒ සමූහ දූෂණය, අයුතු රඳවාතැබීම, පැහැරගෙන යාම, ආයුධ භාවිත කොට බරපතල තුවාල සිදුකිරීම යන චෝදනා. මේ චෝදනා අනුව අදාල සිදුවීම කොයි තරම් අමානුෂික වෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද.

මෙහිදී මේ වින්දිත සිසුවිය පොලීසියට දුන් ප්‍රකාශයක තියෙනවා, මේ සිදුවීමට පෙර එදින ම සවස් වරුවේත් මුර කුටිය සහ වොෂ්රූම් එකේදි ඇයට කායික හිරිහැර කරන්න උත්සාහ ගත් බව. එහෙම උත්සාහ ගෙන තිබුනේ දැනට කාර්ය මණ්ඩලයේ සේවය කරන අධ්‍යාපනය අවසන් කළ නීති සිසුවා.
ඒ වගේම වත්මන් සිසුන් දෙදෙනා මේ සමූහ දූෂණ සිදුවීම වීඩියෝ කළ බවත් ඇගේ ප්‍රකාශවල සඳහන්. සිදුවීම අවස්ථාවේ එතැන රැඳී සිටි ආරක්ෂක නිළධාරියා ඒ සඳහා මුරකුටියේ ඉඩ ලබාදුන් බවත්, අදාල සිදුවීම ආවරණය කෙරුවා මිස තමන්ට කිසිඳු පිහිටක් ලබා නොදුන් බවත් ඇය සඳහන් කර තිබුනා.

පොලිස් පරීක්ෂණ මෙන් ම අධිකරණ කටයුතු ද තවම ක්‍රියාත්මකයි. ඒ වගේම මේ සැකකරුවන් දකුණු කල්කටා නීති විද්‍යාල පරිශ්‍රයට ගෙනිහින් අපරාධය පිළිබඳ ක්‍රයිම් සීන් රීකන්ස්ට්‍රක්ෂන් එකක් ද (අපරාධ සිදුවීම් ප්‍රති නිර්මාණය) සිදුකෙරුවා.

මේ ගැන ඉන්දියාවේ නීති ක්ෂේත්‍රය තුළ වගේ ම පොදු මහජනතාව අතරත් මේ දිනවල තියෙන්නෙ ලොකු ආන්දෝලනයක්. උසස් අධ්‍යාපන ආයතනයක, විශේෂයෙන් ම නීති විද්‍යාලයක ආරක්ෂාව ගැන ගැටළුවක්. මානව ගරුත්වය ගැන ගැටළුවක්. ඒ වගේම මේ බොහෝ විශ්ව විද්‍යාලවල සිසුන් කෙරෙහි පාලනාධිකාරියේ වගවීම ගැනත් ගැටළුවක්. මොකද මේ සිදුවීමේ ප්‍රධාන සැකකරු විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ කෙනෙක්. තව අයෙක් ආරක්ෂක අංශයේ කෙනෙක්. එතකොට මේ සිසුවිය කාගෙන් ද ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නෙ?

ඉන්දියාව කියන්නෙ අතිශය බරපතල සමාජ ඛේදවාචකයන්ට නිදහසේ වැඩෙන්නට ඉඩ දෙමින්, මූල්‍ය සංවර්ධනය පසුපස හඹායන රටක්. මෑත දශකවලදී ලෝකයම කතාකල දිල්ලි සමූහ දූෂණ සිදුවීම (නිර්භයාගේ සිදුවීම) මේ අතර ප්‍රධාන එකක්. කල්කටාවේම පාර්ක් ස්ට්‍රීට් සමූහ දූෂණය, මුම්බායි හි ශක්ති සමූහ ව්‍යාපාරය තුළ සිදු වූ සමූහ දූෂණය ආදිය එහි තිබූ ම්ලේච්ඡත්වය හින්දාම දැඩි කතාබහකට ලක්වුනා. නමුත් ඒ අතර කල්කටා නීති සිසුවිය වැනි ලක්ෂ ගානක් කාන්තාවන් මෙලෙස කෙලෙසීමට ලක්වුනා.

2024 දි ඉන්දියාවේ Crime justice journal හි පළ වූ “ෂර්මා සහ හැමිල්ටන්“ වාර්තාවට අනුව ඉන්දියාවේ වත්මන් කාන්තාවන් මිලියන 21.6 ක් තම ජීවිතයේ කවදා හෝ ලිංගික හිරිහැරයන්ට බඳුන් වී සිටිනවා.

ARCAITL Journal හි පළවන තවත් පර්යේෂණ වාර්ථාවක් හද කම්පා කරවන තොරතුරු ප්‍රමාණයක් හෙළි කරනවා. ඊට අනුව ඉන්දියාව තුළ එක් පැයකට කාන්තාවන් දෙදෙනකු කවර හෝ ලිංගික බළහත්කාරීභාවයකට ලක්වෙනවා. වයස අවුරුදු 1-10 ත් අතර දැරියක සෑම පැය 10කට ම වරක් ලිංගික බලහත්කාරීබවකට ලක්වෙනවා. මේ අතර බොහෝ ඒවා සෘජුවම ස්ත්‍රී දූෂණ. ඒ අතර ඉන්දියාව තමයි මේ වෙද්දි ලෝකයේ සිව්වැනි විශාලම ආර්ථිකය හිමි රට. ආර්ථිකය අතින් ඉන්දියාවට ඉහළින් ඉන්නෙ අමෙරිකාව, චීනය සහ ජර්මනිය විතරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *