දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ ආදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (KOICA) මෙරට රජය සමඟ එකඟතාවයකට එළැඹ තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ එකඟතාවය පිළිබඳ සම්මුතියට ඊයේ (03) අත්සන් තැබුණි. ඒ කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ ජාතික අධ්‍යක්ෂිකා ලී යූලී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ මහ නගර සභාවේ ආදායම් ප්‍රභව 76 අතරින් ඉහළම ආදයමක් උත්පාදනය කරන්නේ වරිපනම් බදු (Property Tax), බලපත්‍ර ගාස්තු(License Tax), වෙළඳ බදු(Trade Tax) සහ මුද්දර ගාස්තු(Stamp Duty) යන ආදායම් ප්‍රභව හතරයි. එමඟින් ලැබෙන ආදායම, කොළඹ මහ නගර සභාවේ සමස්ත ආදායමෙන් 62% කි. මෙම නව ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ එම ආදයම් උත්පාදක ප්‍රභවයන් හතර ස්වයංක්‍රීයකරණය කෙරේ. බදු ගෙවීම් යාවත්කාලීන වීම පමණක් නොව බදු ගෙවීම් පිළිබඳ තොරතුරු පද්ධතියේ ආරක්ෂිතභාවය තහවුරු වීමද මෙම ව්‍යාපෘතියෙන් අත්වන සුවිශේෂ ප්‍රතිලාභයකි.

දැනට මහ නගර සභාව තුළ ආදයම් කළමණාකරණය සඳහා භාවිත කරන්නේ MCAS (Municipal Council Accounting System) සම්ප්‍රදායික ක්‍රමයයි. බදු පරිපාලන ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කර නොමැති නිසා, එම ක්‍රමය තුළ බදු ගෙවන්නන්ට අවාසිදායක සහ අපහසු තත්වයන් පැනනැගී ඇති බව නිරීක්ෂණ මඟින් හඳුනාගෙන තිබේ. එමෙන් ම මහ නගර සභාවේ වාර්ෂික තක්සේරුකරණය සහ බදු අනුපාත සෑම වසර පහකට වරක් යාවත්කාලීන විය යුතු වුවද, මෙම තත්වය තුළ ඉදිරිපත්වන මහජන පැමිණිලි සඳහා සධාරණ මැදිහත්වීමක් සිදුකිරීමට ද අපහසු වී ඇත. නමුත් මෙම නව ව්‍යාපෘතිය අවසානයේ සමස්ත ආදායම් පද්ධතියම ස්වයංක්‍රීයකරණය වීම මඟින් එම ගැටළු මගහරවා ගැනීමට අවස්ථාව ලැබේ.

දෛනිකව ස්වකීය අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ 06 කට ආසන්න ජනතාවට මෙන්ම ප්‍රධාන වාණිජ අගනගරය කෙන්ද්‍ර කරගනිමින් මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි ලක්ෂ 07 කට ආසන්න ජනතාවට සේවා සපයන කොළඹ මහ නගර සභාව, වාර්ෂිකව උත්පාදනය කරගනු ලබන ආදායම රුපියල් බිලියන 15 ඉක්මවයි. එම ආදායම වර්ධනය කරගනිමින්ද නිසියාකාරයෙන් කළමනාකරණය කරගනිමින්ද සුන්දර පුරවරයක පුනරුදයට මාවත, මෙවැනි ව්‍යාපෘති සාර්ථකරගැනීමෙන් විවර කරගත හැකි බව රජයේ විශ්වාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *