Post Views: 253 ඌරගස්මංහන්දිය පොලීසිය විසින් රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් 2019 වසරේදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී අමානුෂික වධ හිංසාවලට ලක් කිරීම තුළින් එකී තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය. ඒ අනුව එවකට ඌරගස්මංහන්දිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල වග උත්තරකරුවන් දෙදෙනකු සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි සහ නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) නියෝග කළේ ය. මත්තක ප්‍රදේශයේ පදිංචි පී.ඒ.එස්. මධුෂාන් නමැත්තෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්.තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය. එකී පෙත්සම මගින් පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, තමන් සේවය කළ ආයතනයේ ගබඩාවේ තිබූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරගස්මංහංදිය පොලිසිය තමන්ව සොයන බවට ලැබුණු තොරතුරකට අනුව නීතිඥවරයෙකු සමග තමන් පොලිස් ස්ථානයට ගිය බව ය. එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව තමන්ව නිදහස් කරන බවට පොලිසිය නීතිඥවරයාට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවත් පෙත්සම්කරු සඳහන් කරයි.අනතුරුව දෙවන වග උත්තරකාර පාර්ශවය වන එම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ගේ දෑත්වලට මාංචු දමා බිම දිගේ අපරාධ අංශය පිටුපස තිබූ කාමරයකට රැගෙන ගොස් තවත් පොලිස් නිලධාරියෙකුගේ සහය ඇතිව පහර දුන් බව පෙත්සම්කරු චෝදනා කර ඇත.මේ හේතුවෙන් තමන්ගේ අත්වල මෙන් ම පිටුපස ප්‍රදේශයේ විශාල වේදනාවක් හටගත් බවත් ඔහු පවසා තිබේ.ඉන්පසුව, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමාගේ ලිංගේන්ද්‍රිය තද කරමින් පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇති වූ වේදනාව හේතුවෙන් තමන් සිහිසුන් වූ බවත් පෙත්සම්කරු සඳහන් කර තිබිණි.පසුදා පළමු වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සොරකම සමථයට පත් කිරීම සඳහා ලක්ෂ තුනක මුදලක් වෙළෙඳසලේ හිමිකරුට ගෙවිය යුතු බව සඳහන් කරමින් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.ඉන් අනතුරුව නාගොඩ රජයේ රෝහලට ඇතුළත්ව දින 12 ක් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරයි. මෙහිදී වග උත්තරකරුවන් සිය විරෝධතාවලින් ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ය.දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයටත් පත් කරමින් විනිසුරු මඩුල්ල කියා සිටියේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට අදාළ වන කරුණු ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වූ බව ය.එමෙන් ම, පෙත්සම්කරු සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තා පිරික්සීමේදී ඔහු බරපතළ වධ හිංසනවලට ලක්වී ඇතැයි අධිකරණය හමුවේ තහවුරු වන බවත් විනිසුරු මඩුල්ල පැවසුවේ ය.ඒ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ ය. ඒ අනුව අදාල වන්දි මුදල ගෙවීමට නියෝග කල විනිසුරු මඩුල්ල එම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බව ද මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වග උත්තරකාර නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යොමු කරන ලෙස ද නියෝග කළේ ය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ. Post navigation දුම්රිය ගමන් වාර අවලංගුවීම නිසා සිදුවන දෛනික පාඩුව විගණනය කිරීමට පියවර. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනී.