Post Views: 166 දෛනිකව විවිධ හේතූන් මත දුම්රිය ගමන්වාර අවලංගුවීම හේතුවෙන් දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුවෙන් නිර්දේශ කරන ලදි. මෙසේ නිර්දේශ ඉදිරිපත් වූවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. පසුගිය මැයි මස 08 වැනිදා මෙම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සලකා බැලීම සිදු වූ අතර එහිදී අනාවරණය වූ කරුණු මත නැවත මෙම ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි. මේ සඳහා හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරු සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ද කැඳවීමට තීරණය කෙරුණු අතර ඒ අනුව එම නිලධාරීන්ද මෙම කාරක සභා රැස්වීම සඳහා සහභාගී විය. පවත්වා ඇති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වූ අතර 2021 වර්ෂයේ සිට 2024 වසර දක්වා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් අයුරින් පවත්වා නොමැතිවීම පිළිබඳව කාරක සභාව හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්ගෙන් කරුණු විමසන ලදි. මේ අනුව එම හිටපු නිලධාරීන් පෙන්වා දුන්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහිත කාලසීමාව තුළ කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම් අඩපණ වූ බවයි. නමුත් 2024 වර්ෂයේ එය විධිමත් කිරීමට සැලසුම් කර තිබුණත් නිලධාරීන් ස්ථාන මාරුවීම නිසා සැලසුම්කර තිබූ අවසන් රැස්වීම පැවැත්වීමට නොහැකි වූ බව ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම තත්ත්වය නිසා ආයතනයේ කාර්යක්ෂමතාව අවම වී ඇති බවත්, මෙය 2022 වර්ෂයේ දුම්රිය වාර 64 ක්, 2023 වර්ෂයේ දුම්රිය වාර 61ක් සහ 2024 වර්ෂයේ දුම්රිය වාර 46 ක් ප්‍රමාද වී ධාවනය වීමට හේතුවක් වී ඇති බවත්ය. මේ නිසා දීර්ඝව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර අනතුරුව දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සහ ඒවා වළක්වා ගැනීමට ගන්නා පියවර පිළිබඳ වාර්තාවක් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව නිර්දේශ කළේය. එසේම දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙසද කමිටුව නිර්දේශ කරන ලදි. එසේම දුම්රියෙන් හුණුගල් ප්‍රවාහනය වෙනුවෙන් සියෑම් සිටි සිමෙන්ති (ලංකා) සමාගමෙන් 2024 දෙසැම්බර් 31 දිනය වන විට අයවිය යුතු හිඟ ආදායම වන රු. 2,187,326/= අයකර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර එම ව්‍යාපෘතිය මේ වන විටද ක්‍රියාත්මක වන බවත් අවශ්‍ය මුදල් නියමිත පරිදි අයකර ගැනීමට කටයුතු කරන බවත් නිලධාරීන් පෙන්වා දුන්නේය. කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේදී අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන්ද එම මන්ත්‍රීවරුන් කාරක සභාව දැනුවත් කළහ. ඔවුන් පෙන්වා දුන්නේ ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වී ඇති බවත්, ඇතැම් යන්ත්‍රෝපකරණ අවශ්‍ය කරන පාරිසරික තත්ත්වයන් තුළ ස්ථාපිත නොවී ඇති බවක් නිරීක්ෂණය වන බවත්, ප්‍රමාණය ඉක්මවමින් ඇතැම් උපකරණ මිලදීගෙන ඇති බවත් ය. මේ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ අතර එම් 11 දුම්රිය එන්ජින් මිලදීගැනීම, වියදම සහ නඩත්තු කිරීමේ වියදම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසත් කමිටුව නිර්දේශ කළේය. Post navigation අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියව අත්අඩංගුවට ගනී. තරුණයෙකුට පහරදී අමානුෂික වධ හිංසනයට ලක් කල පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශ ස්ථානාධිපති විසින් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්.