බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ඊට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට අදාළවයි ඔහු මෙලෙස වැඩ තහනමට ලක්වුණේ.
අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට කඩිනම් පරීක්ෂණ ආරම්භවී තිබෙනවා.
රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අනුරාධපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර සිටි මෙම විත්තිකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබුණේ, පසුගිය ජූනි 05 වෙනිදා යි.
එදින අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිත වාර්තාව මගින් මහාධිකරණයට දැනුම් දී ඇත්තේ අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවයි.
සිදුවීමට අදාළ පරීක්ෂණ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මේ මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතා පත් කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *